Thursday, February 16, 2017

484. The Story Of My Marriage - 35 - The Hybrid Cop And My Fifty Rupee Kiss

චෙන්නයිහී මරීනා වෙරළ ඉදිරිපිට පිහිටි
තමිල්නාඩු පොලිස් මූලස්ථානය
 - Google Images

ඉන්දියානු සාගරය දෙසින් හැමූ මද නල අපගේ කෙස් අවුල්කොට දැමීය. අනන්‍යා ඇගේ හිස මගේ වම් උරහිස මත තබා දිගු සුසුමක් හෙලුවාය. මම මගේ සුරතින් ඇගේ සුමුදු වත සෙමින් පිරිමදින්නට වූයෙමි. මද රත්පැහැයෙන් දිදුලන හිරු ඉන්දියානු සාගරයෙන් සෙමෙන් හිස එසවීය.සෙමෙන් අහස ඉහළට යන්නාහාම හිරු මඬල මද රත් පැහැයේ සිට දඹරන් පැහැයක් ගත්තේය. මෙතෙක් ඉතා සෙමෙන් හමා ආ මදනල එක්වරම වේගවත් වූයේ මගේ සිරුර කිළිපොලවමිනි. අනන්‍යාද මට තවත් තදින් තුරුළු වූවාය.

මම සෙමින් පහත්ව ඇගේ නළල්තලය සිප ගතිමි.

"ක්‍රිෂ්..මේ...ඔයාට අපේ අම්මගෙයි තාත්තගෙයි හිත දිනාගන්න එක ක්‍රමයක් නම් තියනව" මගේ උරහිස මත තම හිස තබාගත්වනම ඈත ක්ෂිතිජයෙන් හිරු කෙමෙන් නැඟ එන අයුරු දෙස නෙත් යොමුකොටගත්වනම හුන් අනන්‍ය එකවරම හිස ඔසවා මාදෙසට හැරෙමින් පැවසුවාය. 

"ඒ කොහොමද?"

"අපෙ මල්ලිට අයි.අයි.ටී. එන්ට්‍රන්ස් එග්සෑම් එකට ටියුෂන් දෙන්න ඔයාට පුළුවන් නේද? මල්ලිව අයි.අයි.ටී. එකකට ඇතුල් කරවාගන්න අම්මයි තාත්තයි ඕන දෙයක් කරයි"

"අයි.අයි.ටී. ටියුෂන් දෙන්න?...මේ..මම?"

"ඔව්..ඔව්...මල්ලිව අයි.අයි.ටී. එකකට දාගන්න එක එයාලගෙ ජීවිතේ ලොකුම හීනයක්. ඒ හීනෙ හැබෑ කරවල දෙන්න ඔයාට පුලුවන් නම් ඔයා කොච්චර මොට්ට පංජාබි ගමරාල කෙනෙක් උනත් අම්මයි තාත්තයි ඔයාව බෑණ කරගන්ට එක පයින් කැමති වෙනව මට ඒක ෂුවර් ඇන්ඩ් ෂොට්…"

(සටහන - ඉන්දියාවේ අයි.අයි.ටී. අධ්‍යාපන ආයතන නොහොත් ඉන්දීය තාක්ෂණ ආයතනයන්ට (Indian Institute Of Technology) ඇතුළු වීම යනු ඉතා අසීරු කාර්යයකි. ඒ සඳහා ඉතා දුෂ්කර ඇතුළුවීමේ විභාගයකට මුහුණ දිය යුතුවේ. එම කඩඉම සමත්ව අයි.අයි.ටී. ආයතනයකට තම දරුවකු ඇතුලු වීම සාමාන්‍ය මධ්‍යම පාංතික ඉන්දීයානුවන් සලකනුයේ තමන්ටද ඥාතීන් සහ හිත මිතුරන් අතර ඉහළ සමාජ තත්වයක් නිතැනින්ම හිමිවන මහත් ජයග්‍රහණයක් ලෙසය.)

මම හිඳහුන් අසුනින් නැඟිටුනේ නිතැනිණි. "මොකක්? මොට්ට පංජාබි ගමරාල කෙනෙක්? එහෙමද දැං හිතං ඉන්නෙ?"

"හරි හරි හරි..දැං කලබල වෙන්නෙ නැතුව ඉඳ ගන්නකො. මම ඒ නිකං විහිලුවට වගෙ කිව්වෙ. අනික මම කිව්වෙ මොට්ට පංජාබි ගමරාල කෙනෙක් උනත් කියලනෙ. ඔයා ගමරාල කෙනෙක් කියල මම කිව්වෙ නෑනෙ..හිහ්..හිහ්…" අනන්‍යා සිනාසෙමින්ම මගේ සුරත අල්ලා යලි අසුන මත හිඳවූවාය.

"නෑ මම මේ කිව්වෙ මම අයි.අයි.ටී. එග්සෑම් එකට පාඩම් කලේ අවුරුදු අටකට ඉස්සර. කාටද එව්ව තවම මතක තියෙන්නෙ?"

"හරි, හරි...ආයම පොඩ්ඩක් පාඩම් කරන්නකො"

"ආයම පාඩම් කරන්න?"

"ඔව්..මොකද මම වෙනුවෙන් ඔයාට එහෙම දෙයක් වත් කරන්න බැරිද? "

"හරි හරි අපි බලමුකො…"

"බලමු නෙවෙයි ක්‍රිෂ්..අපි මෙහෙම කරමු. ඔයා ඔය පරණ පොත් දෙක තුනක් ආයම බලල මල්ලිට උදව් කරන්න විභාගෙ පාස් වෙන්න. එතකොට අපෙ අම්මලගෙ හිත්වල උනත් ඔයා ගැන යම් පැහැදීමක්, යම් පිළිගැනීමක් ඇතිවෙයි. එතකොට එයාලට ඔයාව කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න බැරිවෙනව. ආන්න එතකොට අපි මේ ගැන කෙලින්ම කතා කරමු"

"හරි හරි…"

"කන්නකො ඉතිං...මේ මම ගත්තු ඉඩ්ලි තවම එහෙම්මමනෙ.."

මම අප අතර අසුන මතවූ කඩදාසි බෑගයෙන් ඉඩ්ලියක් ගෙන චට්නි බඳුනෙහි බහා ගිල දැම්මෙමි. මගේ මෑණියන් සුපුරුදු පරිදි පාතරාසය උදෙසා තනන ගිතෙල් සුවඳ හමන උණු පරාතා මගේ මතකයට පැමිණියේ නිරායාසයෙනි.

"ඔයා මට ආදරෙයි නේද?" අනන්‍යා මගේ දෙතොල මත රැඳුනු චට්නි ස්වල්පයක් තම සුරතෙහි දබරැඟිල්ලෙන් සෙමෙන් පිසදමමින් විමසුවාය. 

පළමුව ඇගේ සුරතෙහි ඇඟිලි සිපගත් මම දෙවනුව අසුනෙහි ඇය දෙසට පහත්ව ඇගේ රත් පැහැ දෙතොල් සිපගත්තෙමි. මේ මම ඇගේ දෙතොල් සිපගන්නේ පුරා මාස දෙකකට පසුවය. ඒ අඩුපාඩුව යාවත් කාලීන කරනු උදෙසා මම මිනිත්තුවකට අධික කාලයක් ඇගේ තොල් සිපගත්තෙමි.

"ඒයි ...මොකද ඔය ඔතන කරන්නෙ?"

වර්ෂාවක සළකුණක් හෝ නොමැතිව පැහැදිලිව තිබූ නිල් අහස් කුස දෙදරවමින් එක්වණම ඇසෙනා මේඝ ගර්ජනාවක් බඳු හඬක් අප පසුපසින් නැඟිනි. බියෙන් ත්‍රස්තවූ අප දෙදෙන අසුනින් නැඟී සිටියා නොව අනිච්ඡානුගව නැඟීසිටවුනි. අප වෙත ජල්ලිකට්ටු ක්‍රීඩාවට යොදාගන්නා කුලප්පු වූ ගවයකු මෙන් දිව එමින් සිටියේ පොලිස් නිලධාරියෙකි. අප්‍රිකානු ගෝරිල්ලකු සහ ස්පාඤ්ඤයේ ගොන් පොර ක්‍රීඩාව සඳහා යොදා ගන්නා රෞද්‍ර ගවයකු අතර දෙමුහුමක් බඳුවූ ඔහුගේ මුහුණ එවේළෙහි අධික කෝපයෙන් වියරු වැටී තිබිණි.

(සටහන - ජල්ලිකට්ටු යනු ගවයින්ගේ පිටට පැන ඔවුන්ගේ මොල්ලිය තරව ග්‍රහණය කොටගෙන උපරිම කාලයක් බිම ඇද නොවැටී සිටීමට තැත් කිරීමේ ක්‍රීඩාවකි. බහුතරව දකුණු ඉන්දියාවේ පෙබරවාරි මස කෙරෙන මෙම ක්‍රීඩාව පසුගිය වර්ෂයේ අග භාගයේදී සත්ව අවිහිංසා සංවිධාන ඉදිරිපත් කල පෙත්සමක් විභාගකල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කෙරිණි. එහෙත් ඊට ඉඩදෙන ලෙස ඉල්ලා ප්‍රාන්තය පුරා පැවැත්වුනු බහුජන උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු මහාධිකරණය කොන්දේසි සහිතව පසුගිය 2017 ජනවාරි 31 වන දින ඊට අවසර දුන්නේය. මෙම ජල්ලි කට්ටු ක්‍රීඩාව ස්පාඤ්ඤයේ පැම්පලෝනා නගරයෙහි සෑම වසරකම ජූනි මස පැවැත්වෙන වීදි ඔස්සේ ගොනුන් දිවවීමේ ක්‍රීඩාවට බොහෝ සේ සමානය. ස්පාඤ්ඤයේ ගොනුන් දිවවීමේ ක්‍රීඩාවට ද එරෙහිව බොහෝ උද්ඝෝෂණ පැවැත්වෙන නමුදු තවමත් කිසිවෙකුත් එය තහනම් කිරීමට පියවර ගෙන නැත. ජල්ලි කට්ටු ක්‍රීඩාවෙහි සහ ගොනුන් දිවවීමේ ක්‍රීඩාවෙහි වීඩියෝ දර්ශන දෙකක් පහත දැක්වේ.)






"මොකද තමුසෙලා හිතාගෙන ඉන්නෙ මෙතන ජෝගි නටන තැනක් කියලද? හුහ්..පේනවද කිසිම ලැජ්ජාවක් නැතුව හැසිරෙන විදිහ...තමුසෙල දෙන්නට මම….."

එසේ මුරගාමින් පොලිස් නිලධාරියා තම සුරතෙහිවූ මගේ මැණික් කටුව තරම්වූ වේවැලෙන් අප හිඳ සිටි බංකුවට වැරෙන් පහරක් දුන්නේය. දෑතින් මුහුණ වසාගත් අනන්‍යා වහා මා පසුපසට වී සැඟවීමට තැත් කළාය. 

"අනේ ක්‍රිෂ්..අනේ..මේ මනුස්සය යවන්නකො..අනේ යවන්නකො…"

"යවන්න? ඒ කොහොමද?"

"ඔය මිනිහ ඔය කෑගහන්නෙ සල්ලි ඉල්ලල..ඔය ඉල්ලන ගානක් දීල යවන්නකො.." ඇය නැවතත් මා පසුපසටවී කෙඳුරුවාය.

"මොනවද දෙන්නගෙ රහස් කතා? එනව යන්න දෙන්නම පොලිසියට..මම දානව දෙන්නම උසාවියට...සෙල්ලං වෙන්නෙ නෑ හොඳද? චෝදනා බරපතලයි..ප්‍රසිද්ධ ස්ථානයක අවිනීතව හැසිරීම..අනික හරියටම පොලිස් මූලස්ථානය ඉස්සරහම………"

"ඉතිං ඔහෙල මොකටද මේ කෙහෙම්මල් පොලිස් මූලස්ථානයක් ගෙනල්ල ගැහුවෙ මේ දෙනෝ දාහක් මිනිස්සු ගැවසෙන වෙරළක් අස්සෙ? ඔහෙලගෙමනෙ වැරැද්ද" වරද අපගේ නොව තමිල්නාඩු පොලිස් දෙපාර්තමේන්තුවේ බව ගෝරිල්ලාට පැහැදිලි කීරිමට මම උත්සාහ කලෙමි. 

"ක්‍රිෂ්…..මොනවද මේ කියවන විකාර?..ඔලුව හොඳ නැද්ද හැබෑටම?.. ඔය මනුස්සය ඉල්ලන ගාණක් දීල යවන්න මෙතන මේ හතර වටිං මිනිස්සු පිරෙන්ට ඉස්සෙල්ල" අනන්‍යා මගේ උරහිසේ එල්ලී කෙඳිරුවාය. 

කළිසමේ පසුපස සාක්කුවෙන් මුදල් පසුම්බිය පිටතට ගත් මම ඉන් රුපියල් විස්සක් ඉවතට ගතිමි.

"ඉල්ල ඉල්ල…" එසේ ගුගුරමින් ගෝරිල්ලා මගේ දකුණු උරහිසෙන් අල්ලා මිරිකුවේය.

මම යලි රුපියල් පණහේ නෝට්ටුවක් ඉවතට ගත්තෙමි.

"ෆර්ස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනිං" එසේ පවසා අනන්‍යාගේ සහ මගේ ඉස් මුදුනේ සිට පාදාන්තය දක්වා කිහිප විටක් බැලූ ඔහු මා දිගුල රුපියල් පණහේ නෝට්ටුවද මිටිකොටගෙන වෙරළ ඔස්සේ ඉවතට ඇවිද ගියේය.

ඔහු ඉවත යන දෙස මද වේලාවක් බලා සිටි අනන්‍යා බංකුවෙහි වාඩිවී සිනාසෙන්නට වූවාය.

"දැන්නම් හිනාවෙනව මහ ලොකුවට. අර පොලිස් කාරයා මෙතන ගෝරනාඩු කරනකොට බලන්ට තිබ්බ මගෙ පස්සෙ හැංගිල බයේ වෙව්ලපු හැටි"

එසේ පවසමින් ඇය දෙස නොපහන් බැල්මක් හෙලූ මමද බංකුවෙහි අසුන්ගෙන මගේ මේස් සහ පාවහන් පැළඳ ගන්නට වූයෙමි.

"හුහ්..මම ඒ එහෙම කලේ බයට නෙවෙයි..දන්නවද?"

"එහෙනං?"

"මම ඒ බැලුවෙ ඔයා මට කොච්චර ආදරෙයිද කියල"

"ඉතිං? දැං මොකද? ආදරේ තරම මැනගත්තද?

"ඔව්..ඔයාගෙ ආදරේ වටිනාකම රුපියල් විස්සයි.හිහ්..හිහ්…" ඇය සිනාසුණාය. 

"ඒක හොඳයි එහෙම දැනගත්ත එක. ෂිහ්..මට නම් අද ලොකු පාඩුවක් වුනේ…."

"ඇයි? මොකක්ද පාඩුව?" 

"එක කිස් එකකට රුපියල් පණහක් ගියා..අපරාදෙ.."

"හුහ් අපරාදෙ නේද? හා..හා..හරි එහෙනං තව ඕන තරම් දෙන්නකො ඔයාට ඇතිවෙනකල්….අර පණහට හරියනකල්" ඇය මවෙත සෙමෙන් ළංවෙමින් දඟකාර සිනහවකින් පැවසුවාය. 

"මේ කෝළං කරනවද? …." මම බියපත්ව වටපිට බලමින් ඇය ඉවතට තල්ලු කළෙමි. "අර ගෝරිල්ල ඔය කොහෙවත් පඳුරක් අස්සෙවත් හැංගිලා ඉඳල ආයෙමත් පාරක් කඩා පැන්නොත් මෙදා පාර රුපියල පණහකින් නම් බේරෙන්ට බැරිවෙයි ඔන්න.."

"හප්පෝ ඔයානම් පුදුම බයක් තියෙන්නෙ. ඔය දාඩියත් දාල..හිහ්..හිහ්.." ඇය හඬනගා සිනාසෙමින් පැවසුවාය.

"හරි හරි ඒ ගැන පස්සෙ කතාකරන්ට බැරිය..යමු පරක්කු වුනා…"  මම බංකුවෙන් නැඟිට කළිසමේ රැඳි වැලි කැට ගසා දැමුවෙමි.

"මේ..අනන්‍යා... අපි ආයෙ හම්බ වෙන්නෙ කොහොමද? ම්ම්ම්ම් ...මම කියන්ටද ? ඔයාට බැරිද අපේ චමරියට එන්ට වෙලාවක?" ත්‍රී වීලරයකට නැඟීමේ බලාපොරොත්තුවෙන් අසලවූ බස් නැවතුම්පල දෙසට පානඟන අතර මම ඇගෙන් විමසූයෙමි.

"හෙට අනිද්දම වගේ නම් බැරිවෙයි ක්‍රිෂ්..අර මම ඔයාට කිව්වෙ….මම මේ දවස්වල උදේම චෙන්නයි වලින් පිටත් වෙලා ගිහිල්ල ආපහු එන්නෙ රෑට රෑවෙලා"

"එහෙනම් සති අන්තයෙ කොහොමද? "

"අපි බලමු. මම උපරිම උත්සාහ කරන්නම්කො."

"හැබැයි එක පොරොන්දුවක් පිට…………." ඇගේ දෑසෙහිවූයේ දඟකාර සිනහවකි. 

"ඒ මොකක්ද?"

"මට තන්දූරි චිකන් එකක් ගෙනල්ල තියන්න හොඳ ළමය වගේ..මේ මාසෙ දෙකේ එළවලුම කාල මට ඇතිවෙලා තියෙන්නෙ"

" හෙහ්..ඒක මොකක්ද?...සිම්පල්නෙ"

"ආ...තව එකක්... බියර් බෝතල් දෙක තුනක්වත් ගෙනල්ල තියන්න මතක ඇතුව…………."

"හරි හරි නෝ ප්‍රොබ්ලම්" මම පොරොන්දු වූයෙමි. 

මා වසන චමරියෙහි මස් මාංශ ඉවීම සපුරා තහනම් වුවද පිසූ කුකුල්මස් පිටතින් ගෙන ඒම ගැටළුවක් විය නොහැකියැයි මම උපකල්පනය කළෙමි. 

ත්‍රිරෝද නැවතුම්පලෙහිදී අප දෙදෙන ත්‍රි රෝද රිය දෙකකට නැඟ ගතිමු. 

අනන්‍යා ඇගේ ත්‍රිරෝද රියෙහි කවුලුවෙන් හිස පිටතට රුවා මා සමඟ කතා කලාය. "මම මල්ලිගෙ ටියුෂන් වැඩේ ගැන අම්මයි තාත්තයි එක්ක කතා කරන්නම් ක්‍රිෂ්, සතියකට දෙපාරක් පහට හොඳද? "

මම උගුරෙන් අව්‍යාක්ත රාවයක් නැංවීමි. "උදේ පහට? ෂිට්....මොකක්ද අනේ ඔය පහේ වෙලාව? චෙන්නයිවල මිනිස්සු මොන කෙහෙල්මලක් කරන්ට මේ හැටි උදේම නැඟිටිනවද කියල දෙයියො තමයි දන්නෙ.."

"හලෝ..මේ ….උදේ පාන්දර තමයි ඉගෙන ගන්න හොඳම වෙලාව…..ඔහේ ඒක දන්නෙ නැද්ද?" එසේ පවසා මට සුරත වනා සමුගෙන ඇය නික්ම ගියාය.

24 comments:

  1. ඔය මස් තියෙන රෙස්ටුරන්ට් හොයන්න හරිම අමාරුයි නේද ඔය පැත්තේ? චිකන් තියන රෙස්ටුරන් එකක් හොයාගත්තේ ටැක්සි කාරයෙකුට ගානක් දීලා.
    ඉන්දියාවේ පොලිස් කාරයෝ ඉන්නවා සෙරෙප්පු දාගෙන දිග වැටකින් කඩා ගත්ත ඇල්බීසියා පොලු තියාගෙන. ඒක දක්කහම් නම් හිනහත් ගියා.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      අපොයි ඔව්...ගවනර් නම් ඇත්තෙම නෑ..කුකුළත් හොයාගන්ට අමාරුයි...:)

      Delete
  2. ජල්ලි කට්ටු ගවයෙක් වැනි පොළිස් කෙනෙක්නේ
    පුල්ලි නැතත් ඔහුනම් මුදලටයි අනින්නේ
    සල්ලි වගෙම වටිනා හෝඩුවක් ලැබෙන්නේ
    මල්ලි ට ටියුෂන්ම දීල ළකුණු ලබන්නේ........

    ගොඩාක් වෙලාවට පිහිටට ඉන්නෙ මස්සිනාල නොවැ. ක්‍රිෂ් ඒකෙන්වත් ගොඩ යයිදෝ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      මෙතන අන්‍යෝන්‍ය සහයෝගයක් වෙන්න යන්නෙ. ක්‍රිෂ් මචංට උදව් කරනව විභාගෙ පාස් වෙන්ට. ඉනික්බිති ඒ පිහිටෙං මිනිහත් වැඩේ ගොඩ දාගන්නව...:)

      Delete
  3. කතාව දිගටම ලිවීම පිළිබඳව හදපිරි මෙව්වා එක.. :)

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      Thanks...:)

      Delete
  4. හැක්.. හැක්.. මස්සිනා අල්ගෙන ගෙදෙට්ට කොක්ක ගහන්න වගේ ප්ලෑන් එක.

    බලං යනකොට ඉන්දියං පොලිස් කාරයො ලංකාවෙ අයට වැඩිය හොඳයිනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      යස්..උං අඩුගානෙ රුපියල් පණහක් කෙලෙප්පු කරගෙන හරි අතෑරල දානව. මෙහෙ එවුං කෙලිම්ම අල්ලගෙන ගිහිල්ල කූඩු කරනවනෙ.

      Delete
  5. ඒක නෙමෙයි අර පොලිස් මුලග්ගායට යන පාර මැද්දෙ කණුවක් හිටෝල තියෙන්නෙ ඇයි. ලංකාවෙ ලයිට්කණු මැද තියල පාරවල් පළල් කරන එකෙක්ද දන්නෑ ඒ පාරත් හදල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ බොල ඒ කණුව තියෙන්නෙ පොලිස් මූලස්ථානෙට යන පාරෙ නෙවෙයි. පාර තියෙන්නෙ තව එහායිං.

      ඔය කණුව (කණුවක්ම නෙවෙයි ඇත්තටම නම් සිහිවටන කුළුණක් ඒ) තියෙන්නෙ මරීනා බීච් එකට අයිති කොටසෙ. ඔය කුළුන පිහිටවල තියෙන්නෙ 1977 අවුරුද්දෙ මරීනා බීච් එක අලුතින් හදල විවෘත කරපු අවස්තාව සිහිවෙන්ට.

      ඒ කාලෙ හිටපු තමිල් නාඩු මහ ඇමති එම්.ජී.ආර්. හරියටම ඔතන ඇණ තියාගෙන උත්සවාකාරයෙන් බොගක් දාල තමයි මරීනා බීච් එක ජනතා අයිතියට පත් කරල තියෙන්නෙ...

      Delete
  6. දකුණු ඉන්දියාවේ ජල්ලිකට්ටු, ස්පාඤ්ඤයේ ගොනුන් දිවවීමේ ක්‍රීඩාව වගේ අවදානම් සහගත් ක්‍රීඩාවලට මිනිස්සු මේ තරම් ලොල් වෙන්නෙ යටපත් වුණ සත්ත්ව ගති මතු වෙන නිසාද කියල හැමදාම හිතනව.

    ReplyDelete
    Replies

    1. හෙන්රි,

      / යටපත් වුණ සත්ත්ව ගති මතු වෙන නිසාද කියල හැමදාම හිතනව./

      එහෙම වෙන්න බොහෝවිට ඉඩ තියනව.මනුෂ්‍ය වර්ගයා තාක්ෂණ දියුණුවට සමගාමීව ආධ්‍යාත්මිකව දියුණුවුනේ නෑ කියල තියරි එකක් තියනව.ආධ්‍යාත්මික දියුණුව බොට්ල් නෙක් එකක හිරවෙලාය කියල තමයි කියන්නෙ.

      ඒ තියරි එකේම තව ඉදිරියට ගෙනිහිල්ල ඒ බොට්ල්නෙක් එක පිටසක්වල ඉතාම දියුණු ජිවින් කොටසක් විසින් චේතනාන්විතව යොදපු එකක්ය කියල කියන අයත් ඉන්නව.ඒ ගොල්ල කියන්නෙ මිනිස් වර්ගයා කියන්නෙ විශ්වය පුරා පැතිරුණු මහා පර්යේෂණයක එක කොටසක් විතරයි කියල...:)

      Delete
  7. ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනින්ග් එක රුපියල් පනහට ලාබයිනේ...

    ReplyDelete
    Replies
    1. අරුණ,

      ලාබයිද?....එහෙනං අවුලක් නෑ...හෙහ්,හෙහ්,

      Delete
  8. ඔය යුනිෆොර්ම් එකක් ඇන්ද උදවියගෙ පරම හතුරන් තමයි තරුණ ජෝඩු. ඒ ගොල්ලන්ට පැවරුනු පලමු රජකාරිය ලෝක ජනගහණ පාලනය වෙන්න ඇති.
    භගට් මේක කියෙව්වොත් රිටයර් වෙනව ශුවර්.
    සීයට සීයක් සහතිකයි මේක ඔරිජිනල් එකට වඩා හොඳයි කියල

    ReplyDelete
    Replies
    1. බින්දි,

      ඒකනෙ බං මේ යස්සය (මම කියන්නෙ මේ භඝටා ගැන) මෙච්චර අගේට විස්තර කරල පඳුරක් දෙකක් එහෙම තලන්ට තිබ්බ චාන්ස් එකනෙ මේ අත ඇරල දාල බොහොම කෙටියෙන් කියල තියෙන්නෙ. හරියට නිකං අපට ඕනවට වගේ...අර "ඕන්න බුදුනේ මල් මේන්න අපි ගොයිං" කියල යම්තමට වැඳල පංසලෙන් මාරුවෙන අපේ සැදැහැවත් උපාසිකාවන් වගෙ.

      Delete
  9. අනන්‍යා දුවෙකුට හරි ලස්සන නමක්....මම මේ කතාවේ මුල තාම කියෙව්වෙ නෑ ඒත් පහු ගිය කොටසයි මේ කොටසයි කියෙව්වා මම දැන් මේ වෙලාවක් හොයනවා මේක හුස්මට කියවලා දාන්න.

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      ස්තූතියි...නිවාඩු පාඩුව කියවන්නකො...:)

      Delete
  10. අපෝ ඔය ජල්ලි කට්ටු ක්‍රීඩාව මට පේන්න බෑ. නිකන් ඉන්න බැරුවට හොඳයි. ක්‍රීඩකයින්ට ගොනා අනින එකම තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. සයුරි,

      අයියෝ..පිස්සු විකාරනෙ..අර අහිංසක සත්තුන්ටත් ඉන්න විදිහකට ඉන්න දෙන්නෙ නැතුව...මළ විකාර..

      මේ අවුරුද්දෙ ඉන්දියාවෙ ඔය ජල්ලිකට්ටු සීන් වලදි විස්සකට වගෙ තුවාල වෙලා දෙන්නෙක් මළාය කියල මම දැක්ක ඉන්ටර්නෙට් එකේ තියනව.

      ඌව පළාත් සබාවෙ ඇමති කෙනෙක් ඉන්නව සෙන්දිල් තොණ්ඩමන් කියල. ඒ මනුස්සයට අයිතිලු ඔය ජල්ලි කට්ටු ක්‍රීඩාවට යොදවන සුප්‍රසිද්ධ ගවයො පස් දෙනෙක්ද කොහෙද..එවුංගෙ වටිනාකම ලක්ස පහක් හයක් වගෙ වෙනවලු.

      ස්පාඤ්ඤයෙ ගොන්නු දුවවවන සීන් එකේදි නම් ඒ ගොන්නුන්ගෙ අං කපල රබර් විල්ලක් වගෙ එකක් දානව. නැත්තං අර අනින පාරකට බොකු බඩවැල් එළියට එයි.

      Delete
  11. රවියාණෙනි.... මා මේ ස්වප්නයක්ද දකින්නෙ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එම්බල ඝෂ් ලබ්භයිනි,

      දනු මැනව! තොප මේ දකින්නේ සැබෑවූ සිහිනයකි!

      Delete
  12. ඉතුරු ටිකත් ඉක්මනට ලිව්වනම් හරි වටිනවා

    ReplyDelete
  13. කමෙන්ටු නොදැම්මට දිගටම කියෙව්වා රවී...හැබෑට ආදරයක් හන්දා කන කට්ටක්...ඕකම තමයි මට හිතෙන්නේ...

    ලියමන නම් ඉතින් මසුරන්....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...