Sunday, January 15, 2017

473. පුවක් එෂැණිං 23 - පචායුධ කුමාරයාගේ විත්ති


පචායුධ තුමා මාරාන්තික උපවාසයෙහි යෙදෙමින්..... 
"ජොකා ඇඳලද? නින්ද ගිහිල්ල මල්ලි ඇහැරුනොත්?" 
යනුවෙන් වේදිකාවේ දිගාවී සිටින එතුමා වෙත තම හිස 
පහත්කොට නැවී විමසනුයේ පචායුධ තුමාගේ 
හිතවත් පාක්ෂිකයෙකි.

"මව්බිමේ පචායුධය" නමින් විරුදාවලී ලැබූ ඒ ධීර වීර ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තම තෙම පසුගියදා රිමාන්ඩ් භාරයට පත්වූ බව පුවක් එෂැණිං ඉතාම සංවේගයෙන් යුතුව නාසයෙන් වැගිරෙන්නාවූ කඳුළු සහ දෑසින් වැගිරෙන්නාවූ සොටු දියර දහරාවන් දෙකට නැවී හැඳ සිටිනා අමුඩ ලේන්සුවේ කොණකින් පිසදමමින් වාර්තා කර සිටී.

ජාතියේ පිනට පහළවූ, උසස්පෙළ විභාගය සමත්වීම පවා සිංහලයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතවූ රාත්‍රියේ බඩු වැඩිවීම නිසා උණ්ඩුකපුච්ඡයේ පත්ලේ සිට නැඟ එන්නාවූ අමියාව වත්ත පහළ සියඹලා ගස යටට ගොස් කරන්නාවූ ඔක්කාරයක්සේ ඉවත හල මේ මහා වීර පුරුෂයා වනාහී සීගිරියට නැරඹීමට යෑමට පවා ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් පූර්ණකාලීනම කටයුතු කිරීම නිසා කාල වේලාවක් නොමැතිවූ යුග පුරුෂයෙකි. සුප්‍රසිද්ධ ගද්‍රභයෙකි. 

උහු වනාහී වරෙක සාකල්‍යයෙන් විනාශ මුඛයට ඇද වැටීමට ඔන්න මෙන්න කියා තිබූ ශ්‍රී ලාංකික ස්වෛරීත්වය රැකගනු වස් "ලැමන පාෆ" නම්වූ විස්කෝතු පමණක් ආහාරයට ගනිමින් මාරාන්තික උපවාසයක පවා නිරතවූ විරෝදාර මහීෂයෙකි. ඒ මහා උපවාසය අවසන්වූයේ ශ්‍රී ලංකාද්වීපයේ එවකට කිරුළ දැරූ රාජ රාජෝත්තමයාණන් වූ එසේම මෙතුමාටම නොදෙවෙනි ගද්‍රභයකුවූ නමවන මහින්දාභිධාන නරපතියාණන් පැමිණ අප වීරයාහට රසවත් සිසිල් පැන් කුසලානක් පෙවීමෙන් අනතුරුවය. 

එසේ නොයෙක් විකුමන් පාමින් සමස්ත ශ්‍රී ලංකා වාසී , කපාලය තුල අබැටක් පමණකුදු මස්තිෂ්කයක් සහ විචාර බුද්ධියක් සහිත සියළු මෙදිවයින් වාසීන්ගේ හාස්‍යයට සහ ජුගුප්සාවට ලක්වූ මෙතුමෝ ශ්‍රී ලංකාද්වීපය ජාත්‍යන්තරය තුල උසුළු විසුළුවල ලක් වීමටද උදක්ම හේතුවූවෝය. කෙසේ හෝ කලියුග කාලයෙහි කළුගල් ජලයෙහි ගිලී ගොමරිති ඉලිප්පෙන්නේය යන්න පරම සත්‍යයක් බැව් සනාථ කරමින් උසස් පෙළ හෝ නොසමත් මෙතුමෝ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව භාර අමාත්‍ය පදවියෙන් පිදුම් ලැබුවෝය.

ඒ වනාහී බොහොඬ ගෙලෙහි රන් බැන්දාක් සේය. නැතහොත් තුරඟකුට අං මෝදුවූවාසේය. ඉන් මහත්සේ උදම්වූ පචායුධයාණෝ ඉදින් මාහට මෙවන් යස ඉසුරු සහ වරදානයන් ප්‍රදානය කල අප චෞර මහරජාණෝ කිසිදිනෙක යළි පරාජය කල නොහැක්කේය එබැවින් මේ තනතුරු කිසිදිනෙක මා හැර නොයන්නේය සිතා ලා පියා මහත් ප්‍රීති ප්‍රමෝදයට පත්වූයේ තම අමාත්‍ය ධුරයේ බලතල අනිසිලෙස යොදාගන්නේ තම භාර්යාවගේ සියළු ඥාතී මිත්‍රාදීන්හට, මහජන මුදලින් රාජ්‍ය සේවය පිණිස ආනයනය කල සුඛෝපභෝගී වාහන කිසිදු වග විභාගයකින් තොරව රිසිසේ ප්‍රදානය කළෝය.

එහෙත් කලකම් නම් ගලගා ගෙවිය නොහැක්කේය, දුක්විඳම ගෙවිය යුත්තේය යන පඬිවදන සනාථ කරමින් බොහෝ කලක් ඉක්ම යෑමට පළමු අප මහා රාජෝත්තමයාණෝ බලයෙන් පහකරන ලද්දාහුය. එසැණින් අප කථා නායක වීර පුරුෂයෝද සියළු පදවි බලතල අහිමිව නිවට නියාළු සුනඛයකුගේ තත්වයට පත්වූවෝය. හිටපු රාජෝත්තමයාණන්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙවරක් ඉටුකලෝ අප පචායුධයාණෝය. සිය කෙළතොළු කමින් උපරිම ප්‍රයෝජන ගත් උහු මහරජාණන්ට විරුද්ධව ඉදිරිපත්වූ හිටපු ඇමැත්තාහට ඉතාම සාහසික ලෙස නොයෙක් අන්දමින් අපහාස උපහාස කලෝය. "අයියෝ සිරිසේනෝ...අයියෝ සිරිසේනෝ" යනුවෙන් උඩුබුරමින් වේදිකා දෙදරවූවෝය.

බලයට පැමිණි නව රජයේ බලධරයෝ මහරජාණන්ගේ පාලන සමයේහි සිදුවූ දූෂිත මුදල් වඤ්ඡාවන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළෝය. පරීක්ෂණ කටයුතු පමාවන කල්හි පචායුධයෝ "අහෝ තෙපි එදවස අප දූෂිතයෝය, වඤ්ඡාකාරයෝය යනුවෙන් චෝදනා කළාහුය. එහෙත් බලව අප කිසිදු උපද්‍රවයකින් තොරවැ සුවසේ සිටින්නාහුය" යනුවෙන් වේදිකා දෙදරවමින් ගර්ජනා කළාහුය. අනතුරුවැ පචායුධයෝ දිනෙක විදේශගතවීම් වස් අහස්යාත්‍රා තොටුපොළට පැමිණෙන්නෝ අවලංගුවූ විදේශ ගමන් බලපත්‍රක් ඉදිරිපත්කොට බලධරයින්ගේ අත් අඩංගුවට පත්වූවෝය. එකල උහු අග්‍රාමාත්‍යයන්ගේ සරණින් බන්ධනාගාර ගත නොවී නිදහස් වූවෝය.

එසේ වුවද ඉන් යම් පාඩමක් ඉගෙන නොගත් හෙතෙම යලිත් නොයෙක් මුසාබස් දොඩමින් වේදිකා දෙදරවමින් රටවටා යන්නාහුය. යහ පාලන බලධරයෝද පචායුධයන් අමාත්‍යව සිටියදී රජයේ වාහන අවභාවිතා කල අන්දම පිළිබඳව පරීක්ෂණ කරන්නෝ පචායුධයන්හට වහා එම නිලධරයින් හමුව කරුණු පැහැදිලි කරන්නැයි දන්වා යැවූහ. තමනට කිසිසේත්ම සාධාරණ කරුණු පැහැදිලි කීරිමක් කළ නොහැකිබැව් සහ එනිසාම අත් අඩංගුවට අනිවාර්යයෙන්ම පත්වන බැව් අතැඹුලක්සේ දත් පචායුධයෝ වහා තම සට්ටඹියන් උසි ගන්වා සංවිධානය කොට අධිකරණය ඉදිරිපිට මහත් කළබැගෑනියක් ඇති කිරීමට කටයුතු කළෝය.

එකල්හි උහු භාර්යාවන්ගේ සහෝදරියෝද, සහෝදරයෝද, උන්ගේ දූ දරුවෝද පැමිණ බන්ධනාගාර ගත කිරීමට පොලිස් රිය වෙත ගෙනයන පචායුධයන්ගේ දෑතෙහි එල්ලී එසේ රැගෙන යාම වැළැක්වීමට තැත් කළෝය. එහෙත් පොලිස් නිලධාරීහු ඒ ව්‍යාර්ථ කොට මහත් වෑයමකින් පචායුධයන් ගෙනගොස් බන්ධනාගාර ගත කළෝය. අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ පචායුධයන්ගේ ඥාතීහු පොලිස් නිලධාරීන් හට රොස් පොරොස් බසින් බැණ වැදුනෝය. මේ අසාධාරණයට විරුද්ධව අපද දේශපාලනයට එළඹෙනා බව පැවසූවෝ පචායුධයන්ගේ භාර්යාවන්ගේ සහෝදරියය. ඇගේ දියණියෝ පොලිස් නිලධාරීන් තමන්ට බැණ වැදුනු බව පවසමින් හඬා වැටුණෝය.

බන්ධනාගාර ගතවූ පචායුධයෝ තුන් වේලටම ආහාර නිවසින් ගෙන්වා ගැනීමට බලධරයින්ගේ අවසර ඉල්ලා ඇත. ජනතාව වෙනුවෙන් විදුලි පුටුවට යාමට පවා සූදානම් බවට සිංහනාද කල පචායුධයන්ගේ මේ ඉල්ලීම පිළිබඳව විමසූවෙකුට දැනගන්නට ලැබුණේ මහජන මුදලින් සපයන බන්ධනාගාර බත් වේලක් හෝ ආහාරයට ගැනීමට පචායුධයන් නොකැමැති බවකි. ඉදින් එපමණ සද්භාවයෙන් කටයුතු කරන්නෙකු වාහන වඤ්ඡා චෝදනාවන් එල්ල කොට බන්ධනාගාර ගතකිරීම කොපමණ සාධාරණදැයි සිතාබලන ලෙසද එම පවුලේ ඥාතියා වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

මේ අතර පචායුධයන් අත් අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන රැසකින් රජය කෙරෙහි දැඩි විරෝධයක් එල්ලවී ඇත. ප්‍රංශයේ ගී ද මෝපසං පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පචායුධයන් වන් විද්වතකු මෙසේ අත් අඩංගුවට ගැනීම ඉතාම අසාධාරණ බවකි. තමන්ගේ කෘතියක් බව ගී ද මෝපසං පවා දැන නොසිටි "මහල්ලා සහ මුහුද" ගී ද මෝපසංගේ නිර්මාණයක් බව පළමු වරට සොයාගනිමින් සාහිත්‍ය ලෝකයේ නොයෙක් ගරු බුහුමනට ලක්වූ මහා පඬිරුවනක් මෙසේ සිරගත කිරීම දැඩි පිළිකුලින් යුතුව හෙලා දකින බව එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අන්තර්ජාතික ව්‍යාඝ්‍රා අලෙවි කරන්නන්ගේ සංගමයද, එලෙසම ආසියා පැසිෆික් අවලංගු ගමන් බලපත්‍ර භාවිතා කරන්නන්ගේ සංගමයද, ශ්‍රී ලංකා විස්කෝතු නිපදවන්නන්ගේ සංගමයේ ලෙමන් පෆ් අනු කමිටුවද, සීගිරිය නරඹන්නට නොහැකිවූවන්ගේ සංසදයද පචායුධයන් වහාම නිදහස් කරගැන්මේ සටනට එක්ව සිටින බව ද පුවක් එෂැණිං වෙත වාර්තාවේ.

30 comments:

  1. ඕක තනිකර ජාත්‍යන්තර බලවේගයක කුමණ්ත්‍රණයක් බොල.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අන්න ඒකනෙ බං කියන්නෙ..පචායුදට තිබ්බෙ ගෙදරින් කෑම ගෙන්නන එක පැත්තක තියල හිරගෙදර ඇතුලෙ ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණේට විරුද්දව මාරාන්තික උපවාසයක් කරන්ටනෙ...නැද්ද මං අහන්නෙ?

      Delete
  2. දෙක බෙදීම දෙක = දෙක බව පලමු වරට සොයාගත් මහා විද්වතා ඇතුලට දැමීම පිළිබඳ අපගේ බලවත් විරෝධය.
    සමස්ත ලංකා ඉලක්කම් සංගමය

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හපොයි දෙයියනේ වස වැරැද්දක් වුනේ. පචායුද පඬිතුමාගෙ ඒ අනුපමේය සොයාගැනීම අමතකම වෙලා ගියානෙ..

      Hon. පචායුදතුමනි, ගැත්තාට සමාදිය භජනය කරනු මැන.

      ඒත් පචායුද තුමා හොයාගත්තෙ දෙක දෙකෙන් බෙදුනම දෙකයි කියල නෙවෙයි බිංදුවයි කියල. මෙන්න ඒ මහාර්ඝ සොයාගැනීම එතුමා ප්‍රකාශයට පත්කල අමරණීය මොහොත..පපර පපර පෑං...පෑං...පෑං

      හරි හරි අර එතුමා අත් අඩංගුවට ගැනීමට දැඩි විරෝධය පලකරන සංගම් ලැයිස්තුවට දේශප්‍රේමී ගණිත ශාස්ත්‍රය රීකන්ඩිෂන් කිරීමේ සංගමයෙ නමත් එහෙනං දාගන්ටලා...

      Thanks Ano….:)

      Delete
  3. Dollar and Euro are vociferous! This voice comes via dollars and Euros! Your hero Ranil did the biggest plunder in our history but he is not arrested! You can be happier!

    ReplyDelete
    Replies
    1. Vipravasika,

      /Dollar and Euro are vociferous! This voice comes via dollars and Euros!/

      My goodness brother you must be a first class psychic without any doubt whatsoever.

      Actually I finished writing this post yesterday but couldn't publish because I was so busy counting the dollars I got. I am thinking of buying a currency counting machine.

      If you find something from wherever you are please let me know. Thanks in advance.

      /Your hero Ranil did the biggest plunder in our history but he is not arrested!/

      I don't have any heroes and even if I had definitely Ranil would not be in that list.

      Regarding bond scam I am neither happy nor satisfied with Ranil's lame excuses. We will see what happens…

      Delete
  4. රැලියක් ගානෙ රට වෙනුවෙන් පෙනී සිටී
    අවියක් තරමටම වදනින් නිතර ගැටී
    මොහොතක් විවේකය ඔහු වෙත දීම වටී
    තවෙකක් ලීවොතින් රවියෝ ලැබෙයි ගුටී........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී....:)

      Delete
  5. //එසේ නොයෙක් විකුමන් පාමින් සමස්ත ශ්‍රී ලංකා වාසී , කපාලය තුල අබැටක් පමණකුදු මස්තිෂ්කයක් සහ විචාර බුද්ධියක් සහිත සියළු මෙදිවයින් වාසීන්ගේ හාස්‍යයට සහ ජුගුප්සාවට ලක්වූ මෙතුමෝ//

    එතුමා එලෙස හාස්‍යට පත් වූයේ ටොයියන්ගෙනි .....ටොයියන්ට මෙහෙම කින්ඩි දාන එක සහගන අපරාධයක් බ්‍රෝ.....

    ReplyDelete
    Replies
    1. මයියා,

      ටොයියන්ට කිසිදු අපහාසයක් කොට නැත...:)

      Delete
  6. ඔච්චර උඩ පනින්න එපා බන්, පචායුධේ ඔය කේස් එකෙන් නිදහස් වෙනවා, ඕක තවත් මාධ්‍ය සංදර්ශණයක් විතරයි. ඔය පචායුධේ බෙල්ලෙන් අල්ල ගන්න තිබුණෙ අර හොර පාස්පෝට් කේස් එක වෙලේ. වෘෂභ රනිල් ඔය රිලා පනික්කයව පාවිච්චි කරන්න බැලුවෙ හුටන්ට එරෙහිව, ඒත් වැඩේ කෙලවෙන්න යන්නෙ කියල දැනිල දැන් බොරුවට ඇතුලට දාන්න බලනවා. වෘෂභයා ඔක්කොම අල කරගෙන ඉන්නෙ, ඉස්සරහට ජම්පර් අඳින්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. රොබට්,

      ඔහේ කියන එක ඒ විදිහටම වෙයි කියල මටත් හිතෙනව. හැබැයි ඒ හින්දමයි උඩ පනින්නත් ඕන. මොකද මේ යකා හිරේ යන එකක් නෑනෙ.ඒ හින්ද අපි කූඩු කරපු වෙලාවෙ වත් ආතල් එකක් ගන්න ඕනනේ? හාද? නෑද?...:)

      Delete
  7. ඉ‍ටුකොට කලයුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්
    විමල් වීරවංශගෙ පෝස්ටරයක් ගහල තියෙනව මේ දවස්වල. කතාව නම් ඇත්ත, තම පවුලට නෑදෑයන්ට යුතුකම් ඉ‍ටු කරන්න ගිහින් තමයි කෙල උනේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හෙහ්...හෙහ්...කියන්නේ කාටද?

      පවුලට කලයුතු යුතුකම්....:)

      Delete
  8. දීපු වාහන ගැන පොර දන්නේ නෑ කියල එක නම් ඇත්ත වෙන්න ඇති. කාටද බං එච්චර වාහන ගොඩක විස්තර මතක තියාගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. තිසර,

      දෙක දෙකෙන් බෙදුවම බිංදුවයි කියන පොරකට ඔව්ව අමතක වෙන එක අහන්ටත් දෙයක්ද?

      Delete
    2. DEKA DEKEN BEDUWAMA EKAYI NE BOLA

      Delete
  9. Replies
    1. නාඩියා,

      යක්කුවත් එහෙම කරන්නෙ නෑ බං...උංගෙත් තියනව යම් වැදගත් කමක්...:)

      Delete
  10. අපේ වේලාවට මේකා ප්‍රවාහන ඇමති නොවුනේ.
    හැබැයි මේ සිදුවීමේදී අත්අඩංගුවට පත් වෙන්නම ඕන කරන අශුබෝධ මාරසිංහ නිදහසේ ඉන්න එකත් ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ආශුබෝධ ගොයියත් ඔය දහපදුරා වැඩේ අනුමත කලාය කියල කියනව නේද?

      මම බොහොම කැමති නලුවෙක් ලාල් කුලරත්න. ඒ මනුස්සයත් ඔය වාහන වංචාවට සම්බන්දයි කියල කියනවනෙ.

      Delete
  11. මෙය ඉතාමත් චායැ. රවියානෝ පැරුණි දා කව් ලියූ පඪුවන්ගේ බස්වහර අනුකරනය කරන්නෝ මව්බිමේ මන්නයැයි චමල අකලංක වල්පොත්තයාණන් විසින් අබිසෙස් කළ විරුවංසයෝ හැඳිවත උනමියි කියා නොයෙක් වහසි බෙනෙමින් ලියූ මෙම සඳෙස මන නොවඩී. සුනඛ නොවටී. හද නොබඳී. එබැවින් වහා මෙවැනි උසුළු විසුළු ඉවත්කොටැ අනන්‍යාවන්මැ වනුව, විමලානන්ගේ වාං පතුල් කතන්දරයෝමැ ලියව. අසෝකාවන්ගේ කොස් කැපුමමැ ලියව.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      අසෝකාවන්ගේ කොස් කැපුම අවසානයැ.

      Delete
  12. අබග්ගයකි.ගැටපද විවරණය මේ ඇතැයි මේ ඇතැයි බැලූමුත් නුදුටීමි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      එහෙමට ගැටපද නෑනෙ බොල...ප්‍රශ්ණයක් වෙනවනම් දෙකයි මටනම් පේන්නෙ

      1. ගද්‍රභ = කොටළුවා
      2. මහීෂ = මීහරකා

      Delete
  13. වාහන භාවිතාවෙන් යුද්ධ අවසන්කරන්නන්ගේ සංසදය?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඇයි ශ්‍රී මහජන මූල්‍ය රථවාහන ඥාතීසංග්‍රහ පරෝපකාර සමිතිය?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...