Friday, July 21, 2017

518. කේරළයට පිහිනූ වන අලියා සහ වෙනත් අතුරු කථා.......


නාවික හමුදා භටයින් වන අලියා බේරාගැනීමේ
මෙහෙයුමේ යෙදී සිටින අයුරු ඉහත
ඡායාරූපයෙන් දැක්වේ.

පහත පළවෙන්නෙ වත්පොතේ පළවූ මෙත්මලී දිසානායක මහත්මියගේ/මෙනෙවියගේ නිර්මාණයක්. කාලෙකට පස්සෙ වත්පොතේ මම කියවපු විශිෂ්ඨයි කියල සැකයකින් තොරව නිර්දේශ කලහැකි නිර්මාණයක්. 

පුවතක් : "මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගන්නා ලදුව ගොඩබිමට ගෙන එයි."

1. ගහගෙන ගිය අලියා - තූ..නෙදකින් අඩු කුලේ පර හැත්ත. උෂ්ණ කාලෙ වෙනසකටත් එක්ක පීනන්න කියල මුහුදට බැස්ස. මුන් ඒ ටිකට මාව කුදලගෙන ආපහු හිටපු තැනටම අරන් ආවා. ඒ කාලේ නම් මෙහෙම නෑ අපේ හාමුදුරුවනේ.. ඒකට දැන් අලියෙකුට මුහුදට බැහැල අත පය දිගෑරල පීනන්නවත් නිදහසක් ලෑ.

2. කේරලයේ අලිච්චියක් - එයා මට කිව්වේ සත් සමුදුර තරණය කරලා හරි නිවාඩුවට ඔයාව බලන්න එනවා සුදෝ කියල. ඒ වුණාට සමුදුරක්තියා ඒකෙන් බාගයක්වත් තරණය කරන්න එයාට බැරි වුණා. පස්සේ කිව්වේ නම් මිනිස්සු එයාව අල්ලාගෙන ගොඩට ගෙනිච්චා කියල. මම නම් හිතන්නේ ඕකත් මගෙන් ගැලවෙන්න ගහපු කෙප්පයක්. අර කෝකිලායිවල ඉන්න අලි උඩිච්චියක් එක්ක මෙයාගේ මොකක්හරි තියෙනවා කියල මට ඒ දවස්වලම තේරුණා.

3. එහා කැලේ අලි අම්මෙක් - දැක්කනේ..අර අලිවතීගෙ කොල්ලා ගැන මේ ටිකේ මිනිස්සු හැමෝම කතා වෙනවලු. අන්න ඒකටත් එක්ක අපේ එකා. පීනන්න නෙවෙයි උක් ගහක් කඩාගෙන කන්නත් මූ නෙවෙයි කැලෙන් එළියට බහින්නේ. ඒ කාලේ අපි හැතැප්ම ගාණක් ගිහින් කන්න හොයාගත්තේ.. මුන්ට සැප වැඩියි.

4. අලි උඩිච්චි - ඇත්ත කියනවා. තමුසේ මාව අනාථ කරලා හොරෙන් රට පනින්න නේද ලෑස්ති වුණේ. නෑ..නෑ.. කට වහනවා.. පීනන්න නම් ඔච්චර දුර යන්න ඕනයි. බොරුකාරයා..මේ මගුල කෙරෙන්නේ නෑ. මං අර දළයියට අපේ අම්මලාව හම්බවෙන්න කියල පණිවිඩයක් යවල ඉවරයි. තමුසේ වෙන අතක් බලාගන්නවා..හුහ්..

5. ශ්‍රී ලංකා නාවික හමුදාව - පීනාගෙන ඔස්ට්‍රේලියාවට යන්න තියා හිතන්නවත් එපා. ඔබට කිසිදා එහි පාතැබීමට ඉඩක් ලැබෙන්නේ නෑ. අපි ඔබව කුදලාගෙන ගොඩ බිමට ගෙන එනවා සත්තයි.

6. බුකි පේජ් විශාරදයෙක් - මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන චාලි ඔස්ටින්.

හරි වත්පොත ගැන කතාව එතකින් නිමියේය.

පුදුම වැඩේ කියන්නෙ ඔය මොනවම හරි අපූරු දෙයක් සිද්ද උනහම කොහෙන් හරිම කැරකිල මටත් ඒ වගේම දෙයක් වෙලා තියනව. එහෙමත් නැත්නම් ඒ වගේ සිද්දියක් ගැන මම අහල තියනව. ආය ඉතිං පුදුම වෙන්ට දේකුත් නෑනෙ අඩ සිය වසකට අධික කාලයක් මේ දෙරණ මත ජීවත් උනහම.....:)

දෙරණ කිව්වෙ අර අදද රෙන චැනල් එක එහෙම නෙවෙයි හොඳද? මෙතන දෙරණ කිව්වෙ මිහිකතට. එහෙමත් නැත්නම් මහ පොළවට. උහුලන දෙරණ Bearing earth...මෙතන බෙයාරිං අර්ත් කිව්වෙ මහ පොළවෙ බෙයාරිං ගිහිල්ල කියල එහෙම නෙවෙයි හොඳද? උහුලනව කියන අර්තයෙන්. අපි එදවස ඔය හතර හන්දි ගලවල ආයම කෙමිෆික්ස් දාල අලවල වගෙ දෙලොවටම නැතුව ඇවිදින කෙල්ලන්ට කිව්වෙ "අන්න බං අරකිගෙ බෙයාරිං ගිහිල්ලද කොහෙද" කියල...

හරි හරි හරි එහෙනං ආයම එමු අර අලිය කේරළේට පීනන්ට මූදට බැස්ස සීන් කෝන් එක අහපුවාම මට මතක් වෙනවයි කිව්ව කතාවට. මේ ඇවිල්ල නමසිය අසූපහේ කතාවක්. හෙහ්..හෙහ්..ඒ වෙනකොට මෙලොව එළිය දැකලත් නැති උදවිය මෙතන නෑ නේද?... "No, no Nangi you can't possibly remember that. You were not born then. Actually not even in the relevant process yet.."

මෙය කවුරුන් විසින් කාට කුමක් අරභයා කොතැනකදී පවසන ලද්දක්ද? 

අපෙ අම්මල එස්.එස්.සී කරන කාලෙ (එස්.එස්.සී. කියන්නෙ Senior school certificate නොහොත් ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය) සිංහල සාහිත්‍යය විෂයට නියම කරල තිබිල තියනව නවකථා දෙකක්. බොහෝවිට ඒ යුගයේ ජනප්‍රිය නවකථා කරුවන්ගෙ පොත්. ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයගෙ කැළෑහඳ, විජයබා කොල්ලය..එහෙම නැත්නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ ගම් පෙරළිය, රෝහිණී... අන්න ඒ වගෙ පොත්...ඒ පොත්වලින් කොටසක් දීල විභාගෙට අරම අහනව.

" මිසිස් ජයපාල දන්නෙ නෑ මගෙ අත්තා. උන්දෑ එහෙමකට ප්‍රසිද්ධ මනුස්සයෙක් නම් නෙවෙයි. ඒත් මම මේ කියන්න ආවෙ මිසිස් ජයපාල දන්නවද උන්දැ මුං කිරිබත් කන විදිහ? උන්දැ කිරිබත් කන්නෙ එක්කො උණු උණුවෙන්ම එහෙම නැත්නම් හොඳටම හීල් වෙන්ට ඇරල. ඒ හින්ද මාත් හිතුව මගේ පළිය එක්කො උණු උණුවෙම ගන්ට ඕන. එහෙම නැත්නම් හොඳටම හීල් වෙලා ගන්ට ඕන කියල. ඉතිං හොඳට හිතල බලල මම තෝරගත්තෙ හොඳටම හීල් වෙලා පළිය ගන්ට..." මෙය කවුරුන් විසින් කාට කුමක් අරභයා කොතැනකදී පවසන ලද්දක්ද?

වර්තමානයෙදිත් එහෙම ප්‍රශ්ණ අහනවද නම් මන්ද..මම කිව්වෙ කොහොමද මේ වගෙ එකක් ඇහුවොත් සාපෙලට ..

"වඳුර කිව්වා..වඳුර කිව්ව..වඳුර කිව්ව..හිටපංකො XX XXX වඳුරු කාලකන්නියො ටික මේ වැස්ස පායනකල්..මම තොපෙ XXXXXX ඉඳල XXXX පස්ස බලන්නෙ" මෙය කවුරුන් විසින් කාට කුමක් අරභයා කොතැනකදී පවසන ලද්දක්ද?

ඉතිං අර මම කලින් කියපු "No, no Nangi you cant possibly remember that. You were not born then. Actually not even in the relevant process yet.." කතාව නම් කියල තියෙන්නෙ අපේ නෙලුම් විලේ බින්දි නෝන මහත්තැන්ගෙ ලොකු දෝණි එයාගෙ නංගිට....

මොකක් හරි අතීත සිද්ධියක් ගැන කතා කරද්දි නංගි කිව්වලු "ඔව් මටත් ඒක මතකයි" කියල., ඒ ගමන අක්ක ඔහොම කිව්වලු. "ඒක වෙන්ට බෑ..ඔයා එතකොට ඉපදිලාවත් නෑ. ඔයාට මතක තියෙන්ට විදිහක් නෑ" කියල. ඒ කතාව හගිස්සුවන්ට තමයි අර නොට් ඊවන් ඉන් ද ප්‍රෝසස් කතාවකුත් කියල තියෙන්නෙ. 

කාලෙකට ඉස්සර බින්දි නෝන නෙළුම් විලේ ඇතිවෙච්චි සංවාදයකදි ඔය කතාව කිව්ව. මම ඕක ඒ කිට්ටුව තිබ්බ අපේ මධු සාදයකදි කියල  කට්ටිය මැරෙන්ට හිනා වුනා. ඒ වෙලාවෙ පොඩි එවුංගෙ ඔය අමර ටෝක්ස් ගැන සෑහෙන්න කතා වුනා. අර කොකෙක් චිමිනියෙං එන කතාව. එතකොට අර පුතාව පාරෙ කාර් ගනං කරන්ට යවපු කතාව එහෙම.... හෙහ්,හෙහ්,

හරි දැන්වත් කියමුකො අලි කතාව. ඒ කතාව මෙහෙමයි. ඒ කාලෙ අපි ඔය කැලේ මැද්දෑවෙ ඇලවල්, පාරවල්, පාලං, බෝක්කු එහෙම හදන කාලෙනෙ. මුලින්ම අපේ ඔෆිස්වල, කෑම්ප් වල, එතකොට බඩු ගබඩාවල එහෙම මුරට හිටියෙ ඔය චෙක් රෝලෙං ගත්තු පොඩි කොල්ලො. ටික ටික ඔෆිස් එහෙම ලොකු වෙලා ගබඩා වලින් බඩු නිකුත් කිරීමේ කටයුතු එහෙම ටිකක් සංකීර්ණ වුනාට පස්සෙ ආරක්ෂක අංශය ඒ ගැන වෙනම පුහුණුවක් ලබපු කට්ටියකට භාරදීමේ අවශ්‍යතාවයක් මතුවුන. 

ඒ පාර අපේ හෙඩ් ඔෆිස් එකෙන් කලේ විශ්‍රාමලත් අධිකාරි නොලත් හමුදා නිලධාරීන් පිරිසක් බඳවගෙන ඒ අය යටතේ අවි පුහුණුවක් එහෙම ලැබූ ආරක්ෂක නිලධාරීන් තුන් හතරදෙනා ගානෙ අපේ ඔෆිස් වලට අනුයුක්ත කලා. අර මම කලින් කියපු ප්‍රධානියා හැඳින්වුනේ සී.එස්.ඕ. යන නමින් (Chief Security Officer)

ඉතිං ඔන්න අපේ ඔෆිස් එකට සී.එස්.ඕ. වෙලා ආවෙ ගුවන් හමුදාවෙ වැඩ කරල විශ්‍රාම ගිය නිලධාරියෙක්. ත්‍රිවිධ හමුදාවල සේවය කරන අයට වසර 12, වසර 18 සහ වසර 22 සේවය කලාම විශ්‍රාම යන්ට හැකියාව තියනව. නිලධාරීන්ටත් ඒ වරප්‍රසාදය තියනවද කියල නම් අයි හෑව් නෝ අයිඩියා ඇට් ඕල්. දන්න කියන කෙනෙක් ප්ලීස් ඉන්ෆෝම් මී. අනේ අපේ විචාතුමා හිටියනම් මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන් උත්තරයක් දෙයි.. ආය මොනවද? එහෙම නිලධාරීන්ට ඒ වරප්‍රසාදය නැත්නම් ඒකට හේතු මොනවද? ඒ සම්ප්‍රදාය ඇතිවුනෙ ක්‍රිස්තු වර්ෂ කීවෙනි සියවසේද කියල එහෙමත් මූලාශ්‍ර සහිතව. 

ආ..විචා කියනකොට මතක් වුනේ..මම මේ කියන අපේ සී.එස්.ඕ. ඇවිල්ල ගුවන් හමුදාවෙ අධිකාරී නොලත් නිලධාරීන් (Non-commissioned Officers) අතර ඉහළම රෑන්ක් එක දැරුවයි කියල දවසක් මනුස්සයගෙ ක්වාටර්ස් එක ඉස්සරහ පලු ගහ යට ටීපෝවක් වටේ ඉඳගෙන දිඹුලාගල කන්ද ඉහලින් හඳ පායාගෙන එනව නරඹමින් ඉන්දැද්දි එයයිමයි අපි දැක්ක කිව්වෙ. 

ඔව්..ඔව්..ඉතිං ආය ටීපෝ එක වටේ හිටිය කිව්වට එහෙම නිකම්මත් හිටිය නෙවෙයි. ඇයි වදේ දිගට හරහට වටකරං කන මදුරු මාර සේනාව මැද්දෙ රෑ දෙගොඩ හරියක් පහු වෙනකල් මිදුලෙ පලු ගස් යට ටීපෝ වටේට ඉඳගෙන හඳ පායනව බලාගෙන ඉන්ට මොකෝ අපිට පිස්සුවක්වත් තිබුණයි කියල ඔහෙල හිතනවැයි? ඔව්..ඔව්..ටීපෝ එක උඩ මොනවද බෝතල් දෙක තුනකුත් ඔන්න ඔහෙ තිබ්බ තමයි. ආය මොකටෙයි බොරු කියන්නෙ?

ඉතිං කාලෙකට ඉස්සර මම ලියපු බ්ලොග් පෝස්ට් එහෙක කමෙන්ට් එහෙකටද කොහෙද කිව්ව ඔය ගැන. මෙන්න මේ විදිහට එයාෆෝස් ඔෆිසර් කෙනෙක් මට කලකට ඉස්සර මුණ ගැහුනය, මනුස්සය එයා ෆෝස් එකේ ඉහලම නන් කමිෂන්ඩ් ඔෆිසර් රෑන්ක් එක වන මේ තනතුර දැරුවය කියල. ඒ දවස්වල මට ඔය අර මනුස්සය කියාපු තනතුර මතක තිබ්බට දැන් හරියටම මතක නෑ. චීෆ් වොරන්ට් ඔෆිසර් වගෙ මොකක් හරි. හරි ඒක මොකක් හරි. වැඩේ උනේ ඕක කියවල විචා ගොඩ උනෙ නැද්ද මගෙ කරට ගෝණියකුත් නැතුවම.

"යමක් ලියනකොට නිවැරදි තොරතුරු හොයල බලල ලියන්ට ඕන නේද? දැං ඔහේ මේ ලියපුව නිවැරදිය කියල කවුරු හරි හිතුවොත් ඒ මනුස්සය අමාරුවෙ වැටෙනව නේද? ඔහෙට වෙඩි තියන්නයි වටින්නෙ මෙහෙම වැඩ කරනවට..." 

අරකද මේකද රටේ නැති එව්ව...ඒ කාලෙ මම විචාරක තුමාව ඒ හැටි අඳුනන්නෙත් නෑ. ඒ හින්ද මට ඉතිං ඇත්තම කිව්වොත් ටිකක් විතර මලත් පැන්න මුලින්ම. ඒත් පස්සෙ මට තේරුණ එතුමා මෙහෙම කියන්නෙ කිසිම යටි අරමුණක් ඇතුව නෙවෙයි හුදෙක් නිවැරදි තොරතුරු පාඨකයින්ට ලබාදීමේ එකම අරමුණ ඇතුව කියල. ඒ හින්ද මම ඉතිං වරදක් වුනානම් සමාවෙන්න කියල කිව්ව. ඊට පස්සෙ විචා මට මතක විදිහට දීර්ඝ විස්තරයක් ලිව්ව ඔය හමුදාවල Non-commissioned Officer Ranks ගැන.

මතු සම්බන්ධයි (වෙන එකක් හින්ද නෙවෙයි කතන්දරේ අද ඉවර කරනවනම් වචන 2500 වගෙ පනිනව. දැට්ස් ටූ ලෝං නෝ? )

පලි - ටූ ලෝං ගැලිය මතකද? උපකාරක පද - අයි.එම්.ආර්. ඒ. ඊරිය ගොල්ල, ජනවර්ජන සහ මනුතාපය.

Friday, July 14, 2017

517. මුදලිහාමිගේ ජයග්‍රහණය, හැම්ලින් නගරය සහ අසභ්‍ය වදන් දැන සිටීමේ වැදගත්කම.

"You just can't be nice all the time.
Sometimes you just need to do the right things,
not nice things "

මේ පහුගිය දවස්වල කුණුහරුප නොහොත් අසභ්‍ය යැයි සැළකිය හැකි කතන්දර රැල්ලක් ගියානෙ වත්පොත පුරාම. මම අර කලින් ලියපු තාපසයගෙ කතාවත් එහෙම බලනවනම් අසභ්‍ය ගණයට දැම්මැහැකි. මම ඕක ලියම්දෝ නොලියම්දෝ කියල දවස් කීපයක්ම හිතලයි අන්තිමට ඔන්න ඔහෙ යන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල ලියල දැම්මෙ. වඳුරු කුණුහරුප කියල වචනයක් අහල තිබ්බට එහෙම කියන්නෙ ඇයිදැයි දන්නෙනම් නැත. දන්න කෙනෙක් කිව්වොත් පිංසිද්ද වෙච්චාවෙ.

කුණුහරුප නොහොත් අසභ්‍ය වචන ගැන මගේ පළවෙනි අත්දැකීම මෙහෙමයි. මම එතකොට හිටියෙ හයවන ශ්‍රේණියෙ. පළමුවන ශ්‍රේණියට ඒ කාලෙ ඇතුලත්කර ගත්තෙ වයස පහ පිරුනහම හින්ද මගෙ වයස ඇති එකොළහකට වගෙ කිට්ටුකරල. අපේ සිංහල සහ ඉංග්‍රීසි පෙළ පොත්වල තිබ්බ අපූරු කතන්දර. මුල්ක් රාජ් ආනන්ද් නම්වූ සුප්‍රසිද්ධ ඉන්දීය ලේඛකයා ලියූ කැදැල්ලෙන් ඉවතට පියාඹන්නට බියවන කුඩා මුහුදු ලිහිණි පැටවකු පිළිබඳ අපූරු කතාවක් මට තවම මතකයි. ඒ එක්කම ඈත පිටිසර පොඩි ඉස්කෝලෙක ඉඳල මීටර් සීය දුවන්ට කොළඹ ඇවිල්ල කොළඹ දරුවන් පරාජය කරන මුදලිහාමිගෙ කතාවත් කිසිදාක අමතක වෙන එකක් නෑ. කතාවෙ නම මීටර් සියය. ඒ කතාවෙ මට මතක කොටසක් මෙහෙමයි.

"කමෝන් සුරාජ්, කමෝන් ඩයාන් හතර වටින්ම බලන්ට ඇවිල්ල ඉන්න කට්ටිය කෑගහනව. ඔය අතරෙ ඉතිං කවුද ඉන්නෙ කමෝන් මුදලිහාමි කියල කෑගහන්ට. එහෙම කෑ ගහනවනම් ඉතිං අපේ මහත්තය තමයි. ඒත් මේ දෙනෝදාහක් මැද්දෑවෙ අපෙ මහත්තය කැගැහුවත් කොහෙ කියල ඇහෙන්ටද? ගිය මාසෙ කැකිරාවෙ තිබ්බ දිස්ත්‍රික් තරඟෙදි නම් අපේ ඉස්කෝලෙන් තරඟ වලට ගිය අනික් අය කමෝන් මුදලිහාමි කියල කෑගැහුව."

"ඔව්ව හිත හිත ඉඳල හරියන්නෙ නෑ. වේගෙං දුවල දිනන්ට ඕන. ආ කවුද ඒ ලඟම අඩි සද්දයක් ඇහෙන්නෙ? දුවන ගමන්ම හෙමීට ඔලුව හරෝලා බලන්ට ඕන. මහත්තයනම් කියල දුන්නෙ දුවද්දි වටපිට කොහෙවත් බලන්ට එපා කියල. ඒත් කමක් නෑ බලමු පොඩ්ඩක්.. ආ.. ඒ අර තරඟෙ පටන්ගද්දි මට එහා ලේන් එකේ හිටපු උල් සපත්තු කාරය නේද ලඟ ලඟම එන්නෙ? එයාගෙ උල් සපත්තුවට මගෙ කකුල් පෑගුනොත් එහෙම ලෙලි යයිද මන්ද ..."

"ආ..මෙන්න උල් සපත්තු කාරය මාව පහුකලා. හෙහ්, එයාට පුලුවන්ද කිරි බණ්ඩ මාමගෙ රබ්බඩය තරං හයියෙං දුවන්ට. රබ්බඩයා කොළදිං කාලෙං පස්සෙ අත ඇරල දැම්මම රැලේ වැටිල මුරණ්ඩු වෙනව. ආයම කුඹුරු වැඩ පටං ගන්ට ඉස්සර අල්ලල බෙල්ලට ළණුව දාගන්ට ඕන. ගමෙන්ම රබ්බඩය අල්ලන්ට පුලුවන් මට විතරයි. බලමු තව ටිකක් හයියෙං දුවල උල් සපත්තුකාරය රබ්බඩය තරමටම දස්සයෙක්ද කියල. මොන? ඔය යස අගේට පහු වුනේ...තව ටිකයි මගෙ හිතේ..ආ අන්න පාර හරහට පීත්ත පටිය ඇදල තියනව..මම දිනුම් ඒ කියන්නෙ."

"ආ..මේ කොහේටද මාව එක්ක යන්නෙ? අන්න උල් සපත්තු කාරයත් කවුද ඇවිල්ල එක්ක යනව. නම් ගම් අහල ලියාගන්ට වෙන්න ඇති. ඒ යන්ට කලිං උල් සපත්තු කාරය මං ගාවට ආව. ඔයා හරිම දක්ෂයි. මම සුබ පතනව ඔයාට. එහෙම කියල මගෙ අත අරගෙන මිරිකුවා එයා. මොනව උනත් කොළඹ රටේ ඉන්නෙ හොඳ අය. අපේ මහත්තයත් ඒ එක්කම ඇවිල්ල මගෙ කිහිල්ල යටිං අත්දෙක දාල මාව උස්සල ආයම බිමිං තියල මගෙ ඔලුව අතගෑව. මම සහසුද්දෙන්ම දැනගෙන හිටිය කොල්ලො උඹ දිනනව කියල. මහත්තයගෙ ඇස්වල ඒ වෙලාවෙ කඳුළු පිරිල තිබ්බ. ලොකු සන්තෝසයක් ආවමත් මිනිස්සුන්ට ඇඬෙනව කියල මම අහල තියනව. ඒක වෙන්ට ඇති අපෙ මහත්තයගෙ ඇස්වල කඳුළු තිබ්බෙ..............."

මතකෙන් ලිව්ව හින්ද කතන්දරේ කෑලි අඩුත් ඇති. ඒ වගේම මගෙ අතිං වැටිච්චි කෑලිත් ඇති. ඔය කතාවෙ නම නම් මීටර් සියය. ඒත් ලිව්වෙ කවුද කියලනම් මතක නැත. මේ ඊයෙ පෙරේද ඒත් මුහුණු පොතේද කොහෙද මේ කතාව ගැන ඇතිවුණු සාකච්ඡාවකදි සඳහන් වුනා මේ කතාවෙ රචකයා රාජකීය විද්‍යාලයෙ හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමෙක්ය කියල. නම පියසේන හෝ ඊට කිට්ටු නමක් වෙන්න ඕන. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ අධ්‍යාපන රසකතා ලියන අපේ දයා මහත්මයා. එතුමටත් හොඳටම හැකියාව තියෙනව මේ විදිහෙ බොහොම අපූරු කතන්දර ලියන්න. පොතක් උනත් පලකලෑකි කිසි බයක් හැකක් නැතුවම...හෙහ්,හෙහ්,

ඉතිං අපේ කාලෙ පාඩම් පොත් ගැන කිව්වොත් ඉංග්‍රීසි සහ සිංහල දෙකම බොහොම අපූරු විෂයයන් ගැන බොහෝ කරුණු පිරිල තිබ්බ එව්වයෙ. ඒ කෙටි පාඩම කියවල ඒ ගැන තව දුරටත් හදාරන්ට, ඒ ගැන පරතෙරටම හොයාගෙන කියවන්ට නොතිත් ආශාවක් ඇතිවෙන විදිහටයි ඒ පාඩම් සකසල තිබ්බෙ. මම මේ අද එහෙම පාඩම් නැහැ කියල කියනව එහෙම නෙවෙයි. අදත් එහෙම පාඩම් ඇති. මම කියන්නෙ අපි ඉගෙන ගත්තු කාලෙ පොත් ගැන.

තෝර් හෙයර්ඩාල් නම් නෝවීජියානු ගවේෂකයාගේ කොන්ටිකි යාත්‍රාව ගැන මම ඉස්සෙල්ලම කියෙව්වෙ සිංහල හතේ නැත්නම් අටේ පොතේ. එතකොට ඔලිම්පික් ක්‍රීඩා ගැන. කාර්තේජය සහ හැනිබාල් ගැන. තමන්කඩුව රන් සන්නස ගැන. ඒත් ඒ සිංහල පොත්වලින්ම තමයි.ඊට අමතරව හැම සිංහල පොතකම අනිවාර්යයෙන්ම තිබ්බ ටී.බී. ඉලංගරත්න මහත්මයගෙ පොතකින් කොටසක්. එතුමා ඒ කාලෙ දේශීය සහ විදේශීය වෙළඳ ඇමති...හෙහ්,හෙහ්..

හැබැයි එකක් තියෙන්නෙ ඉලංගරත්න මහත්මයගෙ කතා බොහොම රසවත් නිසා අවුලකුත් නෑ. විලම්බීත පොතෙන් උපුටාගත් කොටසක් තිබ්බ සිංහල හයේ පොතේ පැණිකජු කියල.

"පූසාගේ කටට නිවනක් නැත. ඌ කෑගැසූ ගමන්ය. ආය බළලුන්ටත් පැණිකජු එසේ තමන්ටම කියාගත් තිලක බළලාගේ බඩ මැදින් වමත යවා ඌ ඔසවාගෙන ගොස් කුස්සියේ දොරෙන් පිටතට දමා දොර වසා දැමුවේය."

ඊට පස්සෙ හතේ අටේ පොත්වල තිබ්බ ඉලංගරත්න මහත්මයගෙම අඹ යහළුවෝ සහ සසර පොත්වලින් උපුටාගත් කොටස්..

හරි දැන් මේ ආවෙ කුණු හරුප ගැන මගේ පළමු අත්දැකීම කියන්ටනෙ.. "ඒක කියන්ට ඇහිල්ල ඒක නොකිය තමුං මොකද්ද මේ කරන කුණුහරුපෙ?" කියල ඔහෙල මට බයිනවත් ඇති. හෙහ්, හරි හරි එහෙනං ඔන්න ඒ කතාව කියමු.

හයේ පංතියට නියමිත ඉංග්‍රීසි පොතේ තිබ්බ අර සුප්‍රසිද්ධ ළමා කතාව. "The pied piper of Hamlin town" අහල තියනවනෙ නේද? අර හැම්ලින් නගරය මී උවදුරෙන් බේරල දෙන්ට ඉදිරිපත් වෙන්නෙ නළා වාදකයෙක්...අන්න ඒ කතාව.

ඉතිං දවසක් ඔන්න ඉංග්‍රීසි විෂයට නියමිත කාල පරිච්ඡයේදි අපේ ඉංග්‍රීසි ගුරුතුමා ඔය පාඩම කරන්ට පටන් ගත්ත. බොහොම තරුණ ගුරුවරයෙක් හිටියෙ එදා පාඩම කරන්ට. ඒකාලෙ මාස දෙක තුනකට වගෙ කාලයකට තාවකාලිකව තරුණ ගුරුවර ගුරුවරියො පාසල් වලට අනුයුක්ත කරන සිරිතක් තිබ්බ. විශේෂයෙන්ම ඉංග්‍රීසි විද්‍යාව සහ ගණිතය යන විෂයයන්වලට. මම හිතන්නෙ ගුරු විද්‍යාල වලින් අවසාන විභාගයට ඉස්සෙල්ල ප්‍රායෝගික පුහුණුවකට එවන අය වෙන්ට ඕන. මට ඒ ගැන පැහැදිලි අදහසක් නම් නෑ. බොහෝවිට අපේ දයා මහත්මය ඒ වගේම හෙන්රි මහත්මය වගෙ උදවිය ඒ ගැන දන්නව ඇති.

ඉතිං එහෙම පුහුණුවන ගුරුවරු උගන්වන විට සමහරවිට ඔවුන්ගෙ කථිකාචාර්යවරයෙක් හෝ වරියක් ඇවිල්ල පංතියෙ පස්සටම වෙලා ඉඳගෙන ඔවුන් ඉගැන්වීමේ කටයුතු සාර්ථකව කරනවද කියල නීරීක්ෂණය කරන සිරිතකුත් තිබ්බ. ඉතිං මේ ප්‍රස්තුත දවසත් එහෙම එකක්. අපේ පංතියෙ පිටිපස්සෙම ඉඳගෙන හිටිය ඔසරියකින් සැරසුණු බොහොම තේජාන්විතව කාන්තාවක්. 

ඉතිං අපේ තරුණ ගුරුතුමා ඔන්න පාඩම පටන් ගත්තා කියමුකො. පාඩමේ මාතෘකාව ඒ කිව්වෙ "The pied piper of Hamlin town"  කියල විතරයි ගුරුතුමාට කියන්ට වුනේ. මගේ ලඟම හිටපු කුමාරසිංහ හිකි හිකි ගාල හිනැහෙන්ට ගත්තෙ නැද්ද?

ගුරුතුමා පාඩම නවත්තල කුමාරසිංහගෙ මූණ දිහා එක එල්ලේම බලා හිටිය ටික වෙලාවක්. ඒ එක්කම කුමාරසිංහගෙ හිනාව ක්‍රමයෙන් අඩුවෙලා නැවතිලා ගියා. සර් ආයම පාඩම පටන් ගත්ත. හැම්ලින් ටවුන් කියන කොටම කුමාරසිංහ ආයම හිනාවෙන්ට ගත්තෙ නැද්ද? මේ වැඩේ තුන්වෙනි පාරටත් උනහම සර්ගෙ ඉවසීමේ සීමාව පැන්න. අනික මම හිතන්නෙ එතුමාගේ හැකියාව අධීක්ෂණය කරන්ට අර කාන්තාවකුත් පංතියෙ පිටිපස්සෙ ඉන්න හින්ද එතුමට තවත් තරහ යන්ට ඇති.

"කුමාරසිංහ මේ වැඩේ මෙහෙම කරන්ට බෑනෙ. කොහොමද මෙහෙම පාඩම කරන්නෙ? ඔයා අනික් අයටත් බාධා කරනවනෙ. යනව පංතියෙන් එළියට. ගිහිල්ල අතන දොරගාව දණ ගහගෙන ඉන්නව" 

සර් එහෙම නියෝග කලා කුමාරසිංහ ගාවටම ගිහිල්ල. කුමාරසිංහ එදා ඔය විදිහට විකාර කලාට හොඳ කීකරු ළමයෙක්. අනේ කියන පමාවට පංතියෙන් එළියට ගිහිල්ල දණ ගහ ගත්ත. හැබැයි එතන ඉඳලත් සර් හැම්ලින් ටවුන් කියල කියන කියන වාරයක් වාරයක් පාසා මිනිහට හිනාව නවත්ත ගන්ට නම් බැරිවුනා.

කුමාරෙ ඇයි එහෙම හිනාවුනේ? කියල මටනම් ලොකුම ප්‍රශ්ණයක්. කාල පරිච්ඡේදය ඉවර වෙලා සර් පොතුත් අරගෙන කුමාරෙටත් රවල අර මැඩම් එක්ක එළියට ගියා විතරයි අපි කට්ටිය ගිහිල්ල කුමාරෙ වටකර ගත්ත. 

"මේ මොකද බං ඔයා අරම හිනාවුනේ?......." මම ඇහුව. 

ඒ කාලෙ මට මතක විදිහට අපි බං කියල කිව්වට උඹ කියල එකිනෙකාට ආමන්ත්‍රණය කලේ නැද්ද කොහෙද? උඹ කියන්නෙ හොඳ නැති වචනයක් කියලයි අපි ඒ කාලෙ හිතාගෙන හිටියෙ. බං අවුලක් නෑ. 

කුමාරෙ ආයම හිනාවෙන්ට ගත්ත. "ඇයි බං ඔයා දන්නෙ නැද්ද? "

"මොකක්ද දන්නෙ නැත්තෙ? "

"අර සර් කිව්ව වචනෙ..... ඒක කුණුහබ්බයක්.."

"කොයි වචනෙද?"

"මොකක්ද අද කරපු පාඩමේ මාතෘකාව?"

"The pied piper of Hamlin town" මම කිව්ව. 

කුමාරෙ ආයම හිනාවෙන්ට ගත්ත. "හැම්ලින් කියන්නෙ කුණුබ්බයක්.. "

"මොකක්? ඔයාට පිස්සුද? ඒක කොහොමද කුණුහරුපයක් වෙන්නෙ? ඒක ඒ ටවුන් එකක නමක්නෙ."

"ටවුමක් හරි මොකක් හරි ඒක කුණුහබ්බයක් එච්චරයි මම දන්නෙ. හප්පා දණ ගහගෙන ඉඳලම මගෙ කකුල් දෙකත් රිදෙනව." කුමාර පාතට නැමිල දණිස් අතගාන්ට ගත්ත. 

"හරි කවුද දැං ඔයාට ඔහොම දෙයක් කිව්වෙ?" මට මේ කතාව සහසුද්දෙන්ම දැනගන්ටම ඕන.

"අපෙ තාත්තගෙ කඩේ වැඩ කරන කළු ගුණේ තමයි මට කිව්වෙ.."

කුමාරෙගෙ තාත්ත කෑගල්ල නගරයෙ මුල් පෙලේ මාලු ව්‍යාපාරිකයෙක්. නිවාඩු දවස්වල කුමාරෙ තාත්තගෙ මාලු කඩේ ඉන්නව මම කීප සැරයක්ම දැකල තියනව.

ඒ තමයි මම ඉගෙන ගත්ත මුල්ම අසභ්‍ය වදන.....

අසභ්‍ය වදන් ගැන කියද්දි මතක්වෙන තව කතාවක් තියනව. එහෙනං ඔන්නොහෙ ඒකත් කියලම දාමුකොයි නැද්ද? මේ කතාව අර කලින් එක වගෙ දුරාතීතයෙ සිද්ද වෙච්චි එකක් නම් නෙවෙයි. මේ බොහොම මෑතක. හරියටම කිව්වොත් නයින්ටීන් නයින්ටි නයින්.....

ඒ මම අර වාරිමාර්ග ව්‍යාපෘතියෙ රස්සාවෙන් අයින්වෙලා ගෙදර ඇවිදින් ගෙවෙන මුල්ම මාසෙ වගෙ. අලුත් රස්සාවක් හම්බවෙනකල් මම පේරාදෙණිය පාරෙ N.I.B.M. එකේ පරිගණක පාඨමාලාවක් කලා. ඒකෙ පංති පැවැත්වුනේ සති අන්තයෙ. ඒ හින්ද සතියෙ දවස්වල මම නිදහස්.ඒ කාලෙ මම හිටියෙ අපේ මහගෙදර. අපේ එතුමීටත් ඔය හදිස්සියෙ නුවරට ස්ථාන මාරුවක් ගන්ට නොහැකිවුන නිසා එවුන්දැ එවුන්දැගෙ මාතලේ මහ ගෙදර ඉඳල ඉස්කෝලෙට ගියා. එවුන්දැ එහෙ. මම මෙහෙ. ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ.

ඔය කාලෙ ගෙදර හිටියෙ අපෙ අම්මයි තව අම්මගෙ අයිය කෙනෙක් බැඳල හිටපු නැන්ද කෙනෙකුයි. ඒ වෙනකොට ඒ මාම නැතිවෙලත් සෑහෙන කලක්. නැන්දගෙ දරුවොත් ලොකු මහත් වෙලා දීග තලග ගිහිල්ල හින්ද අම්මගෙ තනියටත් එක්ක ඒ නැන්ද අපේ ගෙදර ඇවිල්ල හිටිය.

ඔය කාලෙ කවුදෝ අසමජ්ජාතියෙක් රෑට රෑට ටෙලිෆෝන් එකෙන් ගෙදරට කතා කරල අනම් මනම් මනමාල කතා කියන්ට පටන්ගෙන තිබ්බ. ඔහොම ඉන්නව විශේෂයෙන් ඔය Night shift වැඩ කරන අසනීප කාරයො. ඔය මොකක් හරි නම්බර් එකකට කතා කරල ඒ ගෙදර ගෑණු විතරයි ඉන්නෙ එහෙම කියල දැනගත්තම ඔය තමන්ගෙ අසහනේ පිටකරගන්ට බලනව.

"අනේ පුතේ මේක හරි කරදරයක්නෙ. මේ කාලකන්නිය රෑ තිස්සෙ කතා කරනව. ටෙලිෆෝන් එක නොගෙන ඉන්ටත් බෑ කාගෙන් හරි හදිසි පණිවිඩයක්ද දන්නෙ නෑනෙ"

අම්ම මා එක්කල කිව්වෙ ගෙදර ආපු දවසෙමයි. අපේ ඒ කාලෙ තිබ්බෙ අර රේඩියෝ ටෙලිෆෝන් එකක් හින්ද සී.එල්.අයි (Caller line identification) දාල ඒ යකාගෙ නොම්බරේ හොයාගන්ටත් බෑ. එකම ප්‍රතිකර්මෙ ටෙලිකොම් එකට පැමිණිළි කරල ඒ යකා කතා කරන නොම්මරේ හොයාගෙන මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න එක.

"හරි හරි ඉන්ඩකො. මම දැං ගෙදර ඉන්නවනෙ. අම්ම කලබල නැතුව ඉන්නකො" මම එහෙම කිව්ව. 

කොහොම හරි ඊට පස්සෙ ටික දවසක් යනකල්  ඒ මනමාලයා කතා කලේ නම් නැහැ. 

"මිනිහටම එපා වෙන්ට ඇති. අපෝ ඇති යන්තම්" අම්ම එහෙම කියල හිනාවුනා.

සතියකට වගෙ පස්සෙ දවසක මගෙ පරණ යාලුවෙක් අපෙ ගෙදර ආව මාව හම්බ වෙන්ට. 

ආගිය තොරතුරු කතාකරල මනුස්සය මට කිව්ව "යමු බං එහෙනං හීන්වට මොනවහරි කරන්ට. කාලෙකින්නෙ හම්බ වුනෙත් උඹව" කියල. මාත් ඉතිං හාංය කියල ගියා කියමුකො. 

අපි ගියේ කිරිබත්කුඹුරෙ රේල් ගේට්ටුව ගාවම තියෙන දුම්රිය කෞතුකාගාරය දැකල ඇති නේද? අන්න ඊට පිටිපස්සෙ ඒ දවස්වල තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකක්. අන්න ඒකට. කොහොම හරි දන්නවනෙ... පොඩිවට කරන්ට ගිය වැඩේ අන්තිමට තව යාලුවො දෙන්නෙකුත් කෝල් කරල ගෙන්න ගෙන මෙගා ප්‍රොජෙක්ට් එකක් නොහොත් මහා පරිමාණ ව්‍යාපෘතියක් වෙලයි අහවරයක් වුනේ.

මම ගෙදර ආවෙ අඩි දෙකක් පොළවට උඩිං. අපේ ගෙදරට එන්ට එදවස තිබ්බෙ අඟල් එකහමාරෙ මැටල් ගල් දාපු සුට්ටි අඩි පාරක් වගෙ එකක්. ඒ මැටල් ගල් වලිං සීයට අනූවක්ම මම යන්තමට දනිපණි ගාගෙන ගෙදර ඉස්සරහ දොර ගාවට ලඟාවෙනකොට රූටල ගිහිල්ල තිබ්බෙ පාරෙං පල්ලෙහා වෙලේ ඔන්න කොටිම්ම. එච්චරම මනරංජනීයයි චිත්තාකර්ෂණීයයි එදා අඩිපාර දිගේ මගේ ගමන. ඒ වෙලත් අපේම හින්ද අවුලක් නෑ.

"නිල් නුවං පෙනෙන පඳුර වලා සුරාවෙන් වෙලී…………………"

"ට්‍රීං..ට්‍රීං.." මම බෙල් එක ගැහුව. 

අම්ම ඇවිල්ල දොර ඇරිය....

"අම්ම මොකෝ මේ නිදියන්නෙ නැතුව කරන්නෙ?" මම ගේ ඇතුලට විසිවෙන අතරෙ ඇහුව.

"හ්ම්ම්ම්..නිදි තමයි..කොහෙද පුතා ගියේ? හොඳටම බීල නේද?" 

අම්ම ඉව ඇල්ලුව. ආය ඉවක් අල්ලන්ට දෙයක් නෑ. බැලූ බැල්මට පේනව කිලෝමීටර් දෙකකට වගෙ එහා ඉඳල උනත්....හෙහ්,හෙහ්,

"මොන? ඒ හැටි බිව්වෙ නෑ ආයෙ…"

"නෑ තමයි මට පේනව..ඇති ගෙදරටවත් ආව..කාලද ඉන්නෙ?"

"නෑ කෑවෙ නම් නෑ..ඒත් දැං කන්ට නම් බෑ මොන විදිහකටවත්.....මම වොෂ් එකක් දාල නිදාගන්නව. අම්මත් ගිහිල්ල නිදාගන්න. කෝ නැන්ද ?"

"නැන්ද නිදි..ආ..ඒක නෙවෙයි පුතා අර කාලකන්නියා අද කතා කලානෙ හතර පස් පාරක්ම.."

"මොන කාලකන්නියද? "

"අර මං කිව්වෙ රෑට රෑට කෝල් දීල ඒක මේක කියනව කියල... අන්න ඒකා.."

"හරි ආයම කතා කලොත් මම ඌට කතා කරන්නං. අම්ම ගිහිල්ල කාමරේ දොර වහගෙන නිදාගන්ටකො."

වොෂ් එකක් දාගෙන ඇවිල්ල මම නිදාගන්ට ගියා විතරයි මෙන්න ටෙලිෆෝන් එක රිං වෙන්ට ගත්ත. මම ආව සාලෙට. අම්මත් නැඟිටල ආව.

"අම්ම ගිහිල්ල දොරත් වහගෙන නිදාගන්ට.."

"මොකද ඔයා කරන්ට යන්නෙ?"

"වෙන ආය අහවල් දෙයක් කරන්ටද ඒ මිනිහට බොහොම කරුණාවෙන් කියන්ට යන්නෙ මේ වැඩේ වහාම නවත්වන්ටෙයි කියල. හරි මම ඒක කරන්නං. අම්ම ගිහිල්ල නිදාගන්ට. දොරත් වහගෙන…ප්ලීස් "

අම්ම මා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳල ගිහිල්ල දොරවහගත්ත. ටෙලිෆෝන් එක දිගටම රිං වෙනව.....

මම ටෙලිෆෝන් එක ලඟම තිබ්බ පුටුවෙ ඉඳගෙන දීර්ඝ සහ සුහද සාකච්ඡාවකට සුදානමින් හරිබරි ගැහුන. ඊට පස්සෙ හෙමීට රිසීවරේ අරං කණේ තියාගත්ත. හැබැයි වචනයක් වත් කතා කලේ නෑ..

"හෙල්ලෝ?……" එහා පැත්තෙං ඇදපැදල කිව්ව. "මොකද අනේ ඔයා ටෙලිෆෝන් එක ගන්ට මෙච්චර පරක්කු උනේ?"

මම හොඳ හුස්මක් ඉහලට ගත්ත. කටහඬ පිටතට නෑහෙන්ට වමතිං රිසීවරේ ආවරණය කරගත්ත. 

"මෙච්චර වෙලා පරක්කු උනේද? පරක්කු උනේ මම ගිහිල්ල හිටිය තොගෙ ***** *****,තෝ දැනගං. වල් පඳුරු **** ****, තෝ මේ කරන දහදුරා වැඩේ අදම නැවැත්තුවෙ නැත්තං මම තොගෙ *****************,"

(එතුමාගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳව මවිසින් ක්‍රියාත්මක කරන්නට අපේක්ෂිත ක්‍රියාමාර්ගයක් පිලිබඳව මම මෙහිදී එතුමා දැනුවත් කළෙමි)

"තෝ දන්නවද තොපි වාගෙ එවුං උප්පාද වෙන්නෙ ******** ගාල්වල ********* ****** වෙලාවල්වල…" 

(එතුමා එතුමන්ගේ ගරු මෑණියන්ගේ ගර්භාෂය තුල පිළිසිඳගත් පරිසරය සහ ඊට උපස්ථම්භකවූ කරුණු කාරණා මෙහිදී මවිසින් එතුමාට මනාව පැහැදිලි කලෙමි) 

"ඒ හින්ද මේ ටික හොඳට අහගං ******** ********* මම කලිං කිව්ව විදිහට මේ වැඩේ අදම නවත්තපං. නැත්තං නොකිව්වයි කියන්ට එපා මම තොගෙ ටෙලිපෝන් නොම්මරේ හොයාගෙන තොගෙ ගෙදරටම ඇවිල්ල ******** *******" 

(මේ අවස්ථාවේහිදී එතුමාගේ ගෙදර වසන ගිරවා, බල්ලා පූසා ආදී සුරතල් සත්වයින් අරභයා මවිසින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ක්‍රියා මාර්ග පිළිබඳව මවිසින් එතුමා ඉතා සුහදව දැනුවත් කරන්නට යෙදුනු බව සැලකුව මනාය)

කොහොමහරි මට හිතෙන්නෙ මේ වෙලාවෙ තමයි මිනිහට හරි සිහිය ආවෙ. සම්මා සතිය. මෙච්චර වෙලා මිනිහ තුස්නිම්බූත වෙලා ඊට අමතරව අන්දුන් කුන්දුන් වෙලා ඉන්ට ඇති ටෙලිෆෝන් රිසීවරෙත් කණේ ගහගෙන. Totally Unexpected හෙවත් කිසිම අයුරකින් බලාපොරොත්තු නොවුනු දෙයක් එක පාරට උනහම මිනිස්සුන්ට එහෙම වෙනව. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Being Paashaaniboothaized කියල. හෙහ්..හෙහ්...අයි නෝ පුතා..මට එහෙම වෙලා තියනව.

ඉතිං සම්මා සතිය පහල උන ගමං මිනිහ දඩස් ගාල ටෙලිෆෝන් එක තිබ්බ. එච්චරයි. එදයිං එදයිත් හරි මිනිහ "ආ හලෝ කොහොමද සැප සනීප?" කියල අහන්ටවත් කතා කලේ නම් නැත. 

May be he still is paashaaniboothized..heh, heh..who knows?

පලි - පහුවදා උදේ වරුවම ඔලුව පුපුරන්ඩ තරං කැක්කුම. ඒත් යාන්තමට එක විදිහක් උන ගමන්ම අම්ම එපා කියද්දි මම අර වෙලේ තිබ්බ මැටල් ගල් එකතු කරල ආයම පාරට දැම්ම. නකතං වෙන්ට දාල එකහමාරෙ මැටල් උඩිං රෑට රෑට රූට රූට එන එකෙත් මාරම ආතල් එකක් තියනව.ඒක පට්ට.....හෙහ්,හෙහ්

Wednesday, July 5, 2017

516. ඉයන්ගේ පොල් මැල්ලුං කතන්දර සහ ඉක්බිති හතරවන අසරුවා පැමිණියේය…..


ගාළු කොටුපවුරෙහි දර්ශනයක් - Google Images



මේ ඉයන් එක්ක මේ ලෝකෙ දෙයක් කොරන්ට බැරි හැටියක් දෙයියම්පා..එක එක කාලෙට එක එක රැළි ගේනව. ප්‍රියතම සිංදු දාසයක් ගැන එක පාරක් ලියල මේකෙ ආය වෙන වැඩක් කොරන්ට උනේ නෑ. හැමෝම එක්කල සිංදු තෝරන්ට ගත්ත හිටු කියල. ඒ කොහොම උනත් ඒ රැල්ලෙං අවාසියක් උනේ නෑ. අපූරු සිංදු බර ගාණක් අපිට අහන්ට ලැබුන. ඒ වගේම සමහරු නිකම්ම සිංදුව දාන්නෙ නැතුව ඒ ගැන සුට්ටං පසුබිම් කතාවක් වගෙ එහෙකුත් ලියල තිබ්බ. ඒ සමහර කතන්දර හරිම චමත්කාරජනකයි.


ඔන්න මේ ඊයෙ පෙරේදා ආයම ඉයන් අභියෝගයක් කලා පොල් මැල්ලුම් ෂානරයෙ කතාවක් ලියන්ටය හොඳම කතාවට ඉයන් ගානෙ තෑග්ගකුත් දෙනවය කියල. ඉතිං ඔය තරඟයෙ විනිශ්චය බාරවුනේ මට. දැං ඉතිං බාරදුන්නු වැඩේ කොරන්ටත් එපාය. අනික වැඩක් කරනකොට පිළිවෙලක් තියෙන්ට එපාය. ලෙඩා මළත් බඩ සුද්ද වෙන්ට ඕනනෙ. 

ඒ හින්ද මේ පොල් මැල්ලුම් ෂානරයෙ කතන්දර කියන්නෙ මොනවද? එව්වයෙ නිර්ණායක (Criteria) මොනවද කියල යම් අදහසක් ගන්ට එපාය. ඒ හින්ද තරඟෙට ඉදිරිපත් කරපු කතන්දර කියවන්ට ඉස්සරවෙලා මම කලේ මේ අභියෝගය ඉදිරිපත් කරමින්  ඉයන් ලියපු සටහන ආයම බලන එක. ඒ සටහනේ මෙන්න මෙහෙම කියනව ඉයන්...



උපුටාගැනීම 

එකිනෙකට සම්බන්ධ නැති කෙටිම කෙටි කෙටිකථා තුනක් කලින් ලියන්න. ඒ සඳහා ඔබ දැනටමත් ප්‍රසිද්ධ කර ඇති කථා එකකුත් හෝ දෙක තුනකුත් යොදාගත්තට කිසිම ප්‍රශ්ණයක් නැහැ. ඒ කථා තුන එකිනෙකට වෙනස් කථා තුනක් නම් වඩා හොඳයි. ඒ කියන්නේ ආදර කථාවක්, අතීතකාම කථාවක්, ත්‍රාසය, සත්‍ය කථාවක් වගේ වෙනස් කථා තුනක් ගන්න එක වඩාත්ම හොඳයි. එහෙම නොවුණත් ප්‍රශ්ණයක් නැහැ.



ඊලඟට එක කථාවක එක ඡේදයක් මැල්ලුම් කථාවට කට් පේස්ට් කරන්න. දෙවෙනි ඡේදය හැටියට අර තුනෙන් වෙන කථාවකින් ඡේදයක් කට් පේස්ට් කරන්න. ඊලඟ ඡේදයට තව කථාවකින් ඡේදයක් දෙකක් ආදී වශයෙන් කට් පේස්ට් කරමින් මේ කථා තුන එක මැල්ලුම් කථාවකට හොඳට අනන්න. මැල්ලුම් වගේම අනන තරමට තමයිළු රස. පොල් මැල්ලුම හොඳට ඇනුවම පොල් කොටස මුල ඉඳලම ඒ පාටට, ඒ රසට තිබුණ වගේ පේනවනෙ. ඒ නිසා හොඳට ඇනීම තමයි මේ තියෙන්නේ කථා තුනක් නොව එක කථාවක් කියල කියවන්නා හිතන්නේ. 


මේ අවස්ථාවෙදී හෝ කථා තුන ලියන මුල් අවස්ථාවෙදී කථා තුනම සම්බන්ධ කරන දෙයක් පාවිච්චි කළොත් මැල්ලුමට හොඳට දෙහි දැම්ම වගේ තමයි. ඒ කියන්නේ මුලින් ලියපු කථා තුනේම එක පොදු ස්ථානයක් එකතු කිරීම. ඒ කියන්නේ ඒ තුනේම විහාර මහා දේවී පාක් එකේ යමක් වෙනවා. එහෙම නැත්නම් කථා තුනේම කථා නායකයා හෝ එක චරිතයක් එකම නමකින් ඉන්න එකම කෙනෙක් ආදී වශයෙන්. එහෙම නැත්නම් කථා තුනේම එක වෙලාවක වෙන එක සිද්ධියක් පොදු කරන්න. උදාහරණයකට බෝම්බ පිපිරීමක් වගේ. එහෙම නැත්නම් එක කථාවක කෙනෙක් සිගරට් එකක් බීල විසිකරණකොට ඒක අනික් කථාවේ චරිතයේ ඔඩොක්කුවට වැටිල ගිණිගන්නව වගේ දෙයක්. 

/උපුටාගැනීම අවසන්



ඉතිං මේ සටහන කියවගෙන යද්දි මට එක පාරටම මතක් උනා දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..මේ විදිහෙ කතාවක් මම කලිං ලිව්වනෙ අවුරුදු තුනකට වගෙ ඉස්සර කියල.


මේ කතාව මම ලිව්වෙ හැබැයි ඔය පොල් මැල්ලුං ෂානරයක් ගැන හිතල නම් නෙවෙයි. මගෙ තුංහිතකවත් එහෙම කල්පනාවක් තිබ්බෙ නෑ. මට ඕන වුනේ එදිනට කලින් එකිනෙකා ඇහැටවත් නොදුටු මිනිසුන් හා ගැහැණුන් පස් ගොල්ලක් දෛවෝපගතව සොබා දහම විසින් නිර්මිත බිහිසුණු ව්‍යසනයකට මුහුණදී එකම තැන එකම ආකාරයට මියයන අන්දම පිළිබඳව සටහනක් තබන්නටයි.

මෙන්න මෙහෙමයි ඒ කතාව....



එදින හතරවන අසරුවා පැමිණියේය....When the Fourth Horseman came riding on the second wave... 


මුහුද දෙසින් එක වරම හමා ආ සුළං රැල්ල නයනිගේ කෙහෙරැල් අවුල් කර දැමීය. කණිෂ්කගේ වමතට සිරවී තිබුණු සුරත මුදාගත් ඈ නොඉවසිල්ලෙන් කෙස් රොද හිස පසුපසට තද කලාය. එහෙත් ඇගේ ඇඟිලි වලින් මිදුනු කෙහෙරල නැවත ද දඟ කරන්නට වූයේ ඇයට කරදර කිරීමටම ඉටාගත් කලෙක මෙනි. 

මෙලෙස අකීකරු කෙස් හා ඇය පොරබදන අතර හිටිහැටියේම හැමූ සුළඟ අතුරුදන් වූයේ යතුරක් ඔබා විදුලි පහනක් නිවා දැමූ පරිද්දෙනි. 

සුසුමක් හෙලූ ඇය කණිෂ්ක දෙස නෙත් කොණින් බැලුවේ ඔහුගේ වමතෙහි මෙතෙක් දැවටි සුරත උකුල මත තිබූ පොත් කිහිපය මත තබා ගණිමිනි. 

ඔහු ඉදිරියට නැවී දෙදණ මත රඳවාගත් දෑත මතට බරදුන් මුහුණින් යුතුව ඈත මුහුඳ දෙස බලා සිටියේය. 

කොටු පවුර අසල වූ කොන්ක්‍රීට් අසුනෙහි එකිනෙකා ගැටෙන නොගැටෙන පරිදි හිඳ සිටි ඔවුහු තවත් මිනිත්තු දහයක් පමණ නිහඬතාවයේ වෙලී ගත කලෝය. 

අවසන නිහඬ බව තවත් ඉවසිය නොහැකිවූ කල නයනී සිතට දිරිගෙන හඬ අවදිකලේ ඈත මුහුද දෙස අරමුණකින් තොරව බලා සිටිමිනි. 

"කණිෂ්ක.....'' 

''ම්ම්......'' ඔහු පිළිවදන් දුන්නේ ඇසෙන නෑසෙන හඬිනි. 

''අපි මොකද දැන් කරන්නෙ? '' 

''මට තේරෙන්නෙ නෑ නයනී...මට තේරෙන්නෙ නෑ...'' එවර ඔහුගේ හඬ මඳක් උස් වූවාසේම ඔහු කතා කලේ අසුනෙහි කෙළින් වී ඇගේ වත දෙස ඉඳුරාම බලමිනි. 

''එහෙම කියල බැහැනෙ අනේ... මේකට අපි මොනව හරි කරන්න එපාය....'' 

''කරන්න ඕන නම් තමයි ඒත් අපි මොනව කරන්නද?...දැන් කොච්චර දවස්ද දින පහුවෙලා ?'' 

''සුමාන තුනකටත් වැඩියි..මගෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ...මේ උනාමයි'' 

නැවත දෙදණ මතට වාරුකල දෑතට හිසෙහි බර දුන් ඔහු කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදින්නට වූයේ ආවේශ වූ කලෙක මෙනි. 

"තාත්ති අද උදේ මගෙන් ඇහුව අලුත් අවුරුද්ද පටන්ගන්ටත් ඉස්සරවෙලා මේ ඉක්මනට ආයෙම ක්ලාස් පටන් ගන්නවද කියල...ටිකක් සැකෙන් වගේ තමයි ඇහුවෙ....'' 

'' .................................'' 

''මට තව වැඩි කාලයක් මේ වැඩේ වසං කරගෙන ඉන්න බෑ.....කණිෂ්ක,'' 

'' .................................'' 

'' මට මැරෙන්න තමයි වෙන්නෙ මූදටවත් පැනල.....'' 

එක්වරම තිගැස්සුණු ඔහු නැවතද කෙලින් වී ඇගේ දෑස් දෙස බලා සිටියේ විපිළිසර වූ දෑසිනි. 

ඔහුගේ හැඟීම් බර දෑස දෙස තවත් බලා සිටිය නොහැකිවූ ඇය දෑස ඉවතට ගෙන අරමුණකින් තොරව වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස බැළුවාය. .....පෙ.ව.9.25 

**************************************** 

''ජගත්, කවදද හරියටම නැකත තියෙන්නෙ?......'' කොටු පවුර අසල තණ බිස්සේ එලූ කලාලය මත හිඳසිටි පුෂ්පා ඇසූයේ ඒ අසල හිටගෙන ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙන මහත් ප්‍රීතියෙන් සිනාසෙමින් එකිනෙකා හඹායන අන්දම සිනාමුසු මුහුණින් නරඹමින් සිටි තම සැමියාගෙනි. 

''ජනවාරි හයට දාගත්ත....බ්‍රහස්පතින්දනෙ...දවසත් හොඳයි.....අනික දවස් දහයක් විතර තියනවනෙ... වැඩ ටික කළබලයක් නැතුව හෙමිහිට කරගත්තෑකි.'' 

වසර හතකට පෙර වැඩිහිටියන්ගේ දැඩි අකමැත්ත මධ්‍යයේ තනි කැමැත්තට විවාහ වූ ඔවුන්ගේ විවාහ දිවියේ මුල් වසර දෙක ගතවූයේ අනන්ත දුක් කම්කටොළු විඳිමිනි. හරි හැටි නිවෙසක් පවා නොමැතිව හිතවතුන්ගේ නිවෙස් වල කාමරයක දිවි ගෙවූ ඒ කාලය නිමා වූයේ ජගත් ට මැද පෙරදිග රැකියාවක් ලැබීමෙන් අනතුරුවය. වසර පහක් එහි ගතකල ඔහු මෙවර පැමිණියේ නැවත තම කුටුම්භයෙන් වෙන්ව නොයන්නෙමැයි යන අදිටනිනි. මුල් වසර තුනෙහි ඉතිරි කරගත් මුදල් නව නිවෙසක් තැනීමට වැයවූ අතර ඉතිරි වසර දෙකෙහි ඉපයූ මුදල් ඔවුන් දැඩි අරපරෙස්සමින් ඉතිරි කලේ තමන්ගේම වූ ව්‍යාපාරයක් ඇරඹීමටය. 

කන්දක් නැඟිවිට අනිවාර්යයෙන් පල්ලමක් හමුවේය යන්න සත්‍යයක් බව ස්ඵුට කරමින් ඔවුන් සිතූ ලෙසම ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගැනීමට මේ අවසන් වසර දෙක තුලදී ඔවුහු සමත් වූහ. එහෙයින් සති දෙකකට පෙර ජගත් ආපසු දිවයිනට පැමිණියේ රැකියාවට සමුදීමෙන් අනතුරුවය. තමන්ට සුපුරුදු ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙහි නියැලීමට ඉටාගත් ඔහු මිතුරන් දෙදෙනෙකුද හා එක්ව ඉඳිකිරීම් සමාගමක් ඇරඹීමෙහිලා යුහුසුළුවිය. නොබෝ දිනකින් එනම් ජනවාරි හයවන දින විවෘත වන්නේ ඒ සමාගමයි. ජීවිතය මෙපමණ විගස ජයගත හැකිවේයයි සිහිනෙනුදු නොසිතූ හෙයින් පුෂ්පාගේ සිත තුල වූයේ උතුරා ගලා යන තරමේ ප්‍රීතියකි. 

නිදැල්ලේ දුව පනින කුඩාවුන් දෙදෙනාගේ සුරතල් සිනාපිරි වතින් යුතුව මොහොතක් නැරඹූ පුෂ්පාගේ නෙත යොමුවූයේ ඊට මඳක් ඔබ්බෙන් කොටු පවුර යාබද බංකුවක හිඳ සිටි ලාබාල පෙම්වතුන් යුවල වෙතය. තවමත් පාසල් වියෙහි යයි නිසැකවම අනුමාන කල හැකි ඔවුන් දුටු ඇගේ සිත නිතැනින්ම බොහෝවිට සුන්දර එසේම විටින්විට අසුන්දර මතකයන්ද කැටිවුණු ඔවුන්ගේ අතීතය කරා මොහොතක් දිව ගියේය. 

''ජගත් අර කපල් එක දැක්කම ඔයාට මොනව හරි මතක් වෙනවද? '' 

''පව් අර අහිංසක කොල්ලා....'' ජගත් පැවසුවේ හඬ නගා සිනා සෙමිනි. 

පුෂ්පා ද ඒ සිනහවට හවුල් වූවාය.

''ඒත් මට පේන්නෙ ඒ දෙන්න මොකක් හරි බරපතල ප්‍රශ්නයකට මැදිවෙලා වගෙ....'' යුවළ දෙස මොහොතක් පරීක්ෂාවෙන් බලා සිටි ජගත් පැවසුවේ ඈ අසලම හිඳගනිමිනි. 

''ප්‍රශ්න නැත්තෙ කාටද?...ඒ කාලෙ අපටත් මොකෝ ප්‍රශ්න තිබ්බෙ නැතුවය?'' 

''අපි යමුද එහෙනම්.....පුතා ....'' ජගත් දරුවන්ට අඬගසමින් නැඟීසිට අත් ඔරලෝසුව දෙස බැලීය. 

උදෑසන නිවසින් පිටත්ව එද්දී ඔරලෝසුව අමතක වූ බව ඔහුට සිහි වූයේ හත්වන හෝ අටවන වතාවටය....'' කීයද පුෂ්පා වෙලාව?.....'' 

''ම්ම්ම්....9.25 යි ...'' තම අත් ඔරලෝසුවේ දෙස බැලූ ඈ එසේ කියමින් නැඟී සිටියාය...'' යමු එහෙනම්...'' 

*************************************** 

කළු පැහැති ප්‍රාඩෝ රථය කොටු බැම්ම පේන තෙක් මානයේ නතර කල රිචඩ් මුදලාලි අත් තිරිංග ක්‍රියාත්මක කොට, රියදුරු අසුනින් බැස රියේ බොනට්ටුවට හේත්තු වී කලිසම් සාක්කුවෙන් ගත් ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවෙන් සිගරටයක් ගෙන දල්වා ගන්නට උත්සාහ කලේය. දැඩි සුළඟ නිසා දෙතුන් වරක්ම උත්සාහය අසාර්ථක වූ ඔහු එවර දකුණු පස දොර විවෘත කොට රිය තුලට හිස රුවා සිගරටය දල්වා ගත්තේය. 

එතෙකුදු රථයෙන් නොබැස වම් පස අසුනේ සිටි විල්බට් දෙස ඔහු හෙලූයේ නොපහන් බැල්මකි. ''මොකද බං තවත් මේක ඇතුලෙ කරන්නෙ?. බැහැපං.. අද මේ වැඩේ කතා කරල ඉවරයක් කරන්න ඕනෙ.'' 

විල්බට් රියෙන් එළියට බැස්සේ තවත් ස්වල්ප වේලාවක් රිය තුල රැඳී සිටීමෙන් අනතුරුවය. 

''හරි ....මුදලාලි දැන් මොකද කියන්නෙ?'' 

දුම් උගුරක් දෙකක් පිටකල රිචඩ් හාත්පස නීරීක්ෂණය කළේය. යම් දුරකින් සුදු පැහැති මෝටර් රථයක් අසල තණ බිස්සේ එලූ කලාලයක් වැනි යමක හිඳසිටිනා යුවලක් හැරුණු විට ඔහුගේ දෙනෙතට කිසිවෙකු හසු නොවුනද ඔහු කතාකලේ හැකිතරම් පහත් ස්වරයෙනි. 

''මට වැඩේ කෙරෙන්ඩ ඕන....හැබැයි මගෙ නම ගෑවිලාවත් තියෙන්න බෑ....ගෙදර කොල්ල කන්ඩ ගිහිල්ල වෙච්චි දෙයක් විදිහට වැඩේ කරපං..... දන්නවනෙ.....යසපාල ලබන සතියෙ සඳුද වෙනකොට ඉවරයක් කරල තියෙන්න ඕන, බාර් එකේ ටෙන්ඩර් එක සඳුද දෙනව....මම ලොක්ක එක්ක කතාකලා...ලොක්ක කියන්නෙ අපි දෙන්නම චන්දෙදි උදව් කරපු නිසා පැත්තක් ගන්ඩ බෑ කියල....යකෝ මම වියදම් කරපුව හම්බ කරගන්ඩ වෙන ක්‍රමයක් නෑ....'' 

''මෙතන බාගයක් තියනව ඇඩ්වාන්ස්.....ඉතුරුව වැඩේ අවුලක් නැතුව කෙරුනට පස්සෙ....'' රියේ පසුපස අසුනේ රබර් කලාලය ඔසවා දුඹුරුපැහැ ඝන කඩදාසියකින් හොඳින් එතූ පාර්සලයක් ඉන් පිටතට ගෙන විල්බට් දෙසට දිගු කරමින් රිචඩ් වමතෙහි උදෑසන හිරු එළිය පතිතව දිදුලන රන් ආලේපිත ඔරලෝසුව දෙස බැලීය. ..9.25 

**************************************** 



ක්‍රිස්ටෝපර් නොහොත් කිට්ටා ද තණ බිස්ස මත වැතිර සිටියේය.එහෙත් අවට සිදුවන දේ හෝ අවම වශයෙන් මුහුදු සුළඟ විටින්විට අඩු වැඩි වන හඬ හෝ ඔහුට නෑසුණි. දින දෙකකින් හරි හැටි අහරක් හෝ නින්දක් නොලැබුණ ද ඔහුගේ ගත මෙන්ම සිතද දඬු අඬුවකින් තෙරපා මිරිකා හරින්නාක් මෙන් දැනෙන ඉවසිය නොහැකි වේදනාවට හේතු වූයේ ඒ එකද කරුණක් හෝ නොවේ. කිට්ටා පෙළෙමින් සිටියේ නිෂ්ක්‍රමණ ලක්ෂණයන්ගෙනි. (withdrawal symptoms) 


ගාලු පුරවරයෙහි ප්‍රධාන බෙදාහරින්නා දින දෙකකට පෙර කිට්ටා සොයා ඔහුගේ නිවහනටම පැමිණියේ කිට්ටා අවදි වීමටද පෙරාතුවය. 

''අඩෝ, ****** පුතා, තෝ දැන් දවස් තුනක් සල්ලි නොදී බඩු ගත්තා, කෙඳිරි ගාන නිසා මමත් අනුකම්පා කරල දුන්න...අදිං පස්සෙ ඒ සෙල්ලං බෑ හරිද?.....හිඟ සල්ලි ඔක්කොම ගෙනත් දීපං එතකල් බඩු නෑ......'' 

ඒ තහනම් නියෝගය එලෙසම ක්‍රියාත්මක විණි. කිට්ටාට දිව ඔසුව බෙදාහරින සෑම තැනකම දොර වැසී ගියේය. ඒ දින දෙකකට ඔබ්බෙනි. 

මුළු සිරුරම වෙව්ලන හෙයින් කිට්ටා නැඟී සිටියේ අසල තිබූ පහන් කණුවකට බර දීමෙනි. කෙමෙන් දැඩි වන උදා හිරු රැසින් රත් පැහැවී කඳුළු ගලන දෙනෙත් මුවාකර ගැනීමට සුරත දිගහැර නළලට තැබූ හෙතෙම අවසඟ දෙපා වාරුවෙන් පහන් කණුවට බර දී අවට බැලීය. කොටු බැම්ම අසල නවතා තිබූ කළු පැහැති වාහනයක් ඉදිරිපස දෙදෙනෙක් කතා කරමින් සිටියහ. එතරම් දුරක නොවුනද දැඩි සුළඟ හේතුවෙන් ඔවුන් කතාකරන හඬ නෑසිණි." සල්ලි කාරයෙක් වගේ, හෙමිහිට වාහනෙං මොනව හරි ඉස්සුවොත්......... " මිනිසුන් දෙදෙනා සිටියේ රථයේ ඉදිරිපස බැවින් ඔවුනට නොපෙනී වාහනයේ පසු පසට ලඟාවීමට නම් කොටුබැම්ම දිගේ ගමන් කල යුතුය. 

කිට්ටා සෙමින් සෙමින් කොටුබැම්මට මුවාවී එදෙසට ලඟාවන්නට විය. කිසි දිනක ඔරලෝසුවක් භාවිතා නොකලද වේලාව පිළිබඳ කිසිදු හැඟීමක් නොවූවද කිට්ටා ඒ මොහොතේ අත් ඔරලෝසුවක් පැළඳි යමෙකුගෙන් වේලාව විමසුවේ වී නම් මෙසේ පිළිතුරු ලැබෙනු ඇත. 9.25 යි. 

**************************************** 

ඔහුට නමක් නොවීය. මෙලොව කිසිදු ඥාතියකු හෝ මිතුරකු ද නොවීය. අතීතය පිළිබඳ පැහැදිළි කිසිදු මතක සටහනක් ද නොවුනු හෙයින් ඔහු කවුරුද යන්න අන් කිසිවෙක් තබා ඔහු ද නොදන්නේය. විටින් විට මිහිදුම් සළු අතරින් මතුවන අපැහැදිලි ඡායාවන් රැසක් මෙන් සුවිසල් මන්දිරයක්, විශාල වතු යායක් සහ යාන වාහන රැසක් ඔහු මනසේ මොහොතක් දිස් වී අතුරුදන් වුවද ඒ මොනවාද යන්න පවා ඔහුට හැඟීමක් නොවීය.එහෙත් කිසිදු දුක් දොම්නසක් නොවූ ඔහු මෙලොව වාසය කල ප්‍රීතිමත්ම මිනිසා විය. 

අනුකම්පා කලවුන් බොහෝ වූ හෙයින් ඔහුට හාමතින් ගත කිරීමට සිදුවූයේම නැති තරම්ය.එළෙසම හාමතින් වේලක් හෝ දෙකක් ගත වූවද එ ගැන ඔහුට කිසිදු හැඟීමක් ද නොවීය. 

නත්තල් දින සවස් භාගය .....කොටුවේ දෙව් මැදුරේ ප්‍රධාන පියතුමා නත්තල් දේව මෙහෙයෙන් පසු විවේක ගනිමින් සිටියේය. 

''ඩේවිඩ්... අන්න අර මනුස්සය එනව,'' පියතුමා බිරිඳගේ හඬින් අසුනින් නැඟී සිටියේය. 

'' කවුද? '' 

'' හිහ්, හිහ්, නමක් නැති මනුස්සය...ඔයාගෙ යාළුව,'' 

''එහෙමද?....සැන්ඩ්‍රා,,....ලන්ච් එකෙන් ඉතුරු එව්වයින් පාර්සලයක් හදන්න.....'' 

බිරිඳ සකස් කරදුන් පාර්සලය සහ මත්පැන් බෝතලයක් ද රැගෙන පිටතට පැමිණි පියතුමා මෙලොව ප්‍රීතිමත්ම මිනිසා පියවරින් පියවර ලඟා වනු බලා සිටියේ සිනාමුසු මුවිනි. 

කොටු බැම්ම පාමුළ රෑ කල ගත කල ප්‍රීතිමත්ම මිනිසා අවදි වූයේ මුහුණට පතිත වූ දැඩි හිරු රැස් කරණ කොටගෙනය. ඊයේ රාත්‍රිය ගත වූ අන්දම පිළිබඳව කිසිදු මතකයක් ඔහුට නොවීය. සෑම අතින්ම සාමාන්‍ය පුද්ගලයෙකු වුවද ඔහු පෙරදින රාත්‍රිය ගත කල අයුරු ගත කලේ නම් කිසිදු මතකයක් ශේෂ නොවන බවට කිසිදු සැකයක් නොමැති කල ඔහු පිළිබඳව කවර කතාද?...වැතිරී සිටගෙනම අතපත ගා අඩක් අවසන් වූ මත්පැන් බෝතලය සුරතට ගත් ලොව ප්‍රීතිමත්ම මිනිසා සුන්දර සිනහවක් මුවට නගා ගනිමින් බෝතලය මුවට ඇල කොට ගත්තේය. 

ඒ සමඟම  ඔහු වැතිර සිටි තැනට පියවර දහයකට පමණ නුදුරින් කිසිවෙක් කොටු බැම්මට මුවා වෙමින් හොර බළලකුමෙන් ඔහු පසුකර යනු ඔහුට යම්තමට ඇස්සර වැටුනු නමුදු ඒ කවුද හෝ කුමන හෙයින්  එසේ හැසිරෙන්නේද යන්න පිළිබඳව ඔහුට කිසිදු ගනිච්චියක් නොවීය.

වේලාව යන්න පිළිබඳව හැඟීම් මාත්‍රයකුදු ඔහු තුල නොවූ බව සැබෑවකි. ඒ එසේ වුවද මේ වන විට වේලාව උදෑසන 9.25 වූ බව ද ඒ ලෙසම සැබෑවකි. 

**************************************** 

ගාළු පුරවරයට බොහෝ ඈත දේශ දීපංකරයකට එපිට සුමාත්‍රාව අසල කල්ප අසංඛ්‍යය සංඛ්‍යාවක් දැඩි නිද්‍රාවක ගැලී සිටි මෘගයෙකු මේ වන විට තම අති දීර්ඝ කාලීන නිද්‍රාවෙන් ඇඟ මැලි කඩා අවදි වූයේ, සත් සමුදුර තරණය කොට බටහිර දෙසට ගමන් කරමින් සිටියේය. ගාළු කොටු බැම්ම අසල තම විවිධ ප්‍රශ්න විසඳා ගැනීමට තැත් කරමින් හා / හෝ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සුබ සිහින මවමින් හා / හෝ ඒ කිසිත් නොමැතිව ජීවිතය සිතූ පරිදි විඳිමින් හා / හෝ සිටි කිසිවෙකු මේ මෘගයා පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන සිටි බව වෙසෙසින් පැවසිය යුත්තක් නම් නොවේමය. 

**************************************** 



නොගිනිය හැකි කලෙක සිට නිසලව උන් සයුර එක් වරම සෙමින් සෙමින් ගොඩට ගලන්නට විය. 


''කණිෂ්ක...අර මුහුද ගොඩට ගලනව නේද?....'' නයනී ගේ බියපත් හඬින් හිස ඔසවා බැලූ කණිෂ්ක වහා නැඟී සිටියේය. 

''ඔව් නේද?......මේ මොකක්ද වෙන්න යන්නෙ? '' 

**************************************** 

''ජගත් අනේ ඉක්මනට එන්න මුහුද ගොඩ ගලනවා..'' පුෂ්පා කෑගැසුවේ පිස්සියක මෙන් දරුවන් දෙසට දිවයමිනි. 

**************************************** 

''මුදලාලි අර මූද ගොඩට එනව නේද?......'' 

''මොකක්?......අම්මප ඇත්තම නේද?.....මේ මොනවද වෙන්න යන්නෙ? නැගපං, නැගපං, විල්බට්...යමං හනිකට මෙතනිං'' 

**************************************** 

මේ වන විට කිට්ටාගේ පූර්ණ අවධානය වාහනයේ පසුපස අසුන මත වූ කළුපැහැ ගමන් මල්ල දෙස යොමු වී තිබූ හෙයින් මුහුද ගොඩ ගැලීම පිළිබඳ ව ඔහු කිසිසේත්ම නොදත්තේය. 

**************************************** 

මුහුද ගොඩ ගලනවා දුටුවද ලොව ප්‍රීතිමත්ම මිනිසාට එහි අරුමයෙක් නොවන බව නිසැකය. කෙසේ වුවද ඔහු මේ කිසිවක් නොදුටුවේය. වැතිරී සිටි අයුරින්ම මත්පැන් උගුරක් නැවත මුවෙහි ලාගත් ඔහු ඒ ගිල දමා මහත් ප්‍රීතියෙන් සිනාසුණේය. 

**************************************** 

සුමාත්‍රාවේ සිට ගමන් ඇරඹූ යක්ෂයා ගාල්ලට ළඟාවී සිටියේය. කලකින් නොදුටු තම ඥාතී හිතවතුන් බැහැදැක සතුටු සාමීචියෙහි යෙදෙනුවස් දෝත පුරා තෑගි බෝග දුර බැහැරක සිට පැමිණෙනා ඥාතියකු/හිතවතකු පැමිණියාක් මෙන් ස්වල්ප දුරක් ගොඩ බිම අභ්‍යන්තරයට ගමන් කල හෙතෙම අහිංසක ලෙසම ආපසු සයුරු තෙරටම බැස ගියේය. සයුරෙහි මෙතෙක් රඳවාගෙන සිටි සීමා මායිම් පසුකොට බොහෝ දුරකට බැස ගියේය.

මේ සයුර සිඳීයන ආශ්චර්යය නරඹනු වස් නයනී සහ කණිෂ්ක ද, පුෂ්පා සහ ජගත් සමඟ දරු දෙදෙනා ද, රිචඩ් මුදලාලි සමඟ ඇල්බට් ද අයාගත් මුවින් යුතුව සයුරු තෙර වෙත රොක් වූහ. 

කිට්ටා ප්‍රාඩෝවෙහි පසුපස අසුන මතවූ ගමන් මල්ල අතට ගත්තේය. ලොව ප්‍රීතිමත්ම මිනිසා තවත් මත්පැන් උගුරක් ගිල දමා නැවත ද සිනා සුණේය. 

සමුදුරෙහි බොහෝ ඈතට ගමන් කල යක්ෂයා අවසන් ප්‍රහාරය උදෙසා බලමුළු තරකරමින් ශක්තිය කුළුගන්වා ගනිමින් මොහොතක් ගත කලේය. ඉන්පසු කන් බිහිරිකරවන ඝෝෂාවකින් හාත්පස වෙවුලුම් කවමින් ගාළු පුරවරයට කඩා වැදුනේය. 

වේලාව - පෙරවරු 9.30..... දිනය - 2004 දෙසැම්බර් 26, 

***************************************** 


ඉනික්බිති දෙවන රළ පැමිණියේය. 

Lo and behold...... there comes the second wave with the Fourth horseman on a pale horse named death riding upon it….

Sunday, July 2, 2017

515. තාපසයා සහ සූටි කයියා සමඟ වැඩිහිටියන්ගේ කතා ...... 2 ( අවසාන කොටස )


හිමාල වනයේ තපස් රකිනා යෝගී තාපස තුමෙක්
ඉහත දැක්වේ. ඡායාරූපය - Google Images


පළමුවෙන්ම අපේ කමෙන්ට් කරුවන්ගේ සංගමයෙ ගරු සභාපති තුමාට ස්තූතිවන්ත වෙලා ඉන්ට ඕන. මොකද එතුමා තමයි මට මේ තාපසයගෙ කතාව ගැන නිතර දෙවේලේ මතක් කලේ..කෝ? කෝ?..කෝ? කියල. ඊයෙත් උදේ මතක් කරල තිබ්බ. ඒත් වැඩේ කියන්නෙ ඊයෙ සහ අද අපේ එපාට්මන්ට් එකේ අන්තර්ජාලය ෆුල්ම අබ්ලික්. හිටපු ගමං එනව. ඒ එක්කම යනව. සිකුරාද සෙනසුරාද නිවාඩු දවස් හින්ද හදන කට්ටියත් එන්නෙ නෑ. අන්න ඒකයි තාපසයගෙ කතාව පරක්කු වුනේ. 

අර බයියන්ට තාමත් ලංකාවෙ ජනාදිපති නීලකාසය වගේ ඔය වෙන කාට කමෙන්ට්ස් වලට තෑගි හම්බ උනත් මට නම් අදටත් ප්‍රසන්නයම තමයි සංගමයෙ ගරු සබාපතිතුමා...ඒක හෙටත් එහෙමයි..අනිද්දටත් එහෙමයි...හෙහ්,හෙහ්,

දැම්මේ තාපසයගෙ කතන්දරේ ඇදුන බොහොම වැඩියි. ඒ හින්ද අද මම මේ කොම්පීටරේ ඉස්සරහ ඉඳගත්තෙ එක හිත් හිතාගෙන. අර බුදු හාමුදුරුවො ඇසතු රුක මුල ඉඳගත්තෙ බුදුබවට පත්වී මිස මම මෙතැනින් නොනැඟිටිමි කියල අදිස්ටාන කරල. "මාගේ සම්මස් ඇට නහර වියලේවා..එහෙත් බුදුබව නොලැබ මෙතැනින් නොනැඟිටිමි" කියලනෙ කිව්වයි කියන්නෙ. හපොයි...ඇස්ට්‍රීම්ලි සොරි හොඳේ.........ටෙක්නිකලි පොඩි වැරැද්දක් තියනවනෙ. ඒ කිව්වෙ මෙහෙමයි. ඇසතු රුක මුල ඉඳගත්තෙ බුදු හාමුදුරුවො නෙවෙයිනෙ. බුදු හාමුදුරුවො කියන්ට බුදු වෙලා ඉන්ට එපාය. එතන ඉඳගත්තෙ සිධාර්ථ තාපසය..

මෙතන ඉඳල මම ඔන්න සිද්ධාර්ථ තාපසය ගැනයි, සුජාතා සිටුදුව ගැනයි, බුද්ධත්වයට පත්වීම ගැනයි මෙලෝ සිහියක් නැතුව ලියා ගෙන ලියාගෙන ගියා කියමුකො. අන්තිමට නතර වෙලා බැලින්නං ඒ ලියපු ටික කොහොමටවත් අද මාතෘකාවටනම් ගැලපෙන්නෙම නෑ. ඔබ තමුන්නාන්සෙල හොඳාකාරවම දන්නව ඕක ඉතිං මට කොහොමටවත් අලුත් දෙයක් නෙවෙයිනෙ. ඒත් ඇත්තම කිව්වොත් අදනම් මටම හිතුන මේක හරියන්නෙ නෑ කියල. ඒ හින්ද මම තීරණය කලා මෙහෙම කොරන්ට. කොහොම කොරන්ටද? ඒ ලියපු ටික හෙට අනිද්ද දිහාට වෙනම පෝස්ට් එකක් හැටියට පලකරන්ට. එහෙම හොඳයි නේද? ඒ හින්ද එහෙනං ආයම වැල් වටාරං නැතුව බහිමු තාපසයගෙ කතන්දරේට.......

තාපසයගෙ කතාව ලියන්ට ඉස්සරවෙලා මම කිව්ව මතකද ඒ වගේම ඇලික් හා සම්බන්ධ කතාවක් තියනවය කියල. මම එන්න ඒ කතාව බාගෙට කියල තමයි අන්තිමට නැවැත්තුවෙ. එහෙනං ඔන්න අද එතැන් සිට....

හරි ඒ අතුරු කතාව මෙහෙමයි. මේක සිද්දවුනේ ඈස් ෆා ඈස් අයි කැන් රිමෙම්බර් නමසිය අනූහතේ වගේ. චන්ද්‍රිකා නෝන අනූ හතරෙ බලයට ආවනෙ. අනූ හතරෙ අප්‍රේල් වෙනකොට ප්‍රාදේසීය සබා මන්ත්‍රීකමක් වත් නොතිබිච්ච ඒ අම්මණ්ඩි මෙන්න ඉස්සෙල්ල බස්නාහිර මහ ඇමතිවුනා. ඊලඟට මාස දෙකක්ද කොහෙද ගියේ අගමැතිවුනා. තව මාස තුනයි ගියේ මෙන්න එච්චී වෙච්චී. එහෙම තමයි ඉස්ටාර් එක කියන එක. පක්සිය රජකරන කොට බමරා වැල්ලෙත් කැරකෙන කොට ආය මොනව කරලවත් නවත්තන එක බොරු. විජේ අකාලෙ මැරුනෙ එතකොට ලලිත් මලේ ඔය ඔක්කොම චන්ද්‍රිකාගෙ බලසම්පන්න ග්‍රහයෝග හින්දයි කියල බොහොම දෙනෙක් කියනව.

ඉතිං කොහොම හරි අනූහතේ තිබ්බ මොකක්ද මන්ද චන්දයක්. පලාස්සබා වෙන්න ඕන බොහෝවිට. ඒ චන්දෙට ප්‍රචාරක කටයුතු කරද්දි නාලන්ද එල්ලාවල තරුණ මන්ත්‍රී තුමාට වෙඩි තියල මැරුව. මැරුවෙ ඒ කාලෙ යූ.එන්.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය පුංචි නිලමෙ කියල තමයි රටපුරා කතාව පැතිරුනේ. ඒකට නඩුවකුත් තිබ්බද කොහෙද. මට මතක විදිහට පුංචි නිලමෙ ඒ නඩුවෙං නිදහස් වුනා.

හරි ඒ මොකක් හරි මම මේ කියන සිද්දිය වුනේ ඔය මිනීමැරුම වෙච්චි අලුතම වගෙ. පුංචි නිලමෙ හැංගුනා. දැං පොලීසිය රටපුරාම මිනිහව හොයනව. මේ දවස්වල අර වහං වෙලා ඉන්න නානෙව පොලීසියෙං හොයනව වගෙ. ආණ්ඩුවත් මට පේන්නෙ මේ නානෙගෙ හැංගිමුත්තමෙදි ඔලුව පාවිච්චි කරල වැඩ කරනව වගෙ. ඒ කියන්නෙ දැං කරන්ට තියෙන හොඳම වැඩේ තමයි නානෙ ඉන්න තැන දැනගත්තත් මනුස්සයව අල්ලන්නෙ නැතුව දන්නෙ නෑ වගෙ ඉන්න එක. දැං නානෙට වෙලා තියෙන්නෙ අර ගලේ පහරපු බළලට වෙච්චි දේ. එළියට ඇවිල්ල ගොන් පාට් දාන්නත් බෑ. ඔය ඉන්න තැනකට වෙලා සද්ද වහල ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ.

ඉතිං ආයම එමු අර නාලන්ද කේස් එකට. ඔය පුංචි නිලමෙ ආගිය අතක් නැතුව ඉන්න කාලෙ මාතලේ ප්‍රදේසය පුරා හාහෝවක් පැතිරුනා පුංචි නිලමෙ හංගාන ඉන්නෙ ඇලික්ය කියල. ඇලික් දන්නව නේද? බොහොම පරණ යූ.එන්.පී. කාරයෙක්. කැබිනට් ඇමති කෙනෙක්. ඒ කාලෙ මාතලේ ආසනයෙ මන්ත්‍රී. 

ඉතිං ඔය කාලෙ මාතලේ හිටිය හොඳ වැදගත් ප්‍රභූ කාන්තාවක්. චන්ද්‍රිකා එක්ක ලඟ සම්බන්ධකම් තිබ්බ නිසා ජනාධිපති කාර්යාලෙ සම්බන්ධීකරණ ලේකම්ද කොහෙද තනතුරකුත් හම්බවුනා කියමුකො. මේ මනුස්සය ඉතිං කරපු වැඩේ අපිත් මේකට නිකං ඉන්න හොඳ නැතය මොනවාම හරි කරන්ට ඕනමය කියල දවසක් මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එක ගාව (ඔය මාතලේ දේසපාලන රැස්වීම තියන්නෙ එතන.කොළඹ හයිඩ් පාක් එක, කැම්බල් පාක් එක වගේ) රැස්වීමක් සංවිදානය කලා. "පුංචි නිලමේ එළියට දමනු" කියල. අන්න ඒකයි මාතෘකාව.

ඉතිං ඔය රැස්වීම ඉවරවෙලා අර මම කිව්ව ලේඩීස් ප්‍රමුක අනික් බබලත්තු නඩේ (එතන බහුතරයක් ඉඳල තියෙන්නෙ පෙයාරර් සෙක්ස් එකේ අය) වාහන පෙළපාලියක් ගියාලු මාතලේ ටවුම මැදිං.."පුංචි නිලමෙ දියව් දියව්..මිනීමරුව දියව් දියව්" කියල. මාතලේ ගැන දන්න කියන අය දන්නව ඇති ඇලිකගෙ ගේ තියෙන්නෙ මාතලේ ටවුම පහුවෙලා මීටර් පන්සීයක් හයසීයක් වගෙ දඹුල්ල පැත්තට යනකොට මහ පාර අයිනෙමයි කියල. ඉතිං මේ රත පෙලපාලිය ඇලිකගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහ නතර කරල එතනත් දෙකක් වෙන්ට කෑහැහුවලු අර විදිහට කොයි විදිහටද?

"පුංචි නිලමෙ දියව් දියව්..මිනීමරුව දියව් දියව්"

ඇලික්ගෙ ගේ තියෙන්නෙ ටිකක් වත්ත ඇතුලට වෙන්ට වගෙ. සද්දෙ ඇහිල තමංගෙ ගෝල බාලයොත් එක්ක ඇලික් මිදුලට බහිනකොට අර රත පෙලපාලියෙ ආපු කට්ටිය වාහන සැර දමාගෙන ඇදල ගිහිල්ල. දඹුල්ල පාරෙ තව කිලෝ මීටර් හය හතක් ගියාම තියනව පළාපත්වල හන්දිය කියල ජන්කන් එකක්. එතනිං තමයි කුණ්ණෑගල පාරයි අනුරාජපුරේ පාරයි දෙකට බෙදෙන්නෙ. ඔතන ඉඳල ඒ හැටි දුරක් නෑ කවටයාමුණ පන්සලට.

ඔන්න ඔතනින් තමයි මම ට්‍රැක් පැනල අර නිරුවත් යම පල්ලෙක් ගැන කියන්ට තියාගත්තෙ…. මතකෙයි? අද ට්‍රැක් පනින්නෙ නෑ ඔන්න. කෙලින්ම කතන්දරේ...

ඉතිං පළාපත්වල හන්දියෙ වාහන නවත්තල එතන කඩ මණ්ඩියට සිගරට් එකක් බුලත් විටක් නැත්තං සීනි දෙසිය පණහක් ගන්ට ආපු මිනිස්සුන්ට "පුංචි නිලමේ දියව් දියව්" කියල පැය කාලක් විතර වෙලා සත්තම දාල අපේ වීරෝදාර කාන්තා පිරිස වාහන වලට නැඟල ආපහු පිටත්වුනා මාතලේට. ඒ එන්නෙත් ආයම ඇලික්ගෙ ගෙදර ඉස්සරහින්නෙ. එහෙම වෙන්ටම එපාය නැද්ද?

ඉතිං යන ගමනත් කිසි ගින්නක් නැතුව ඇලික්ගෙ ගේ ගාවම සත්තම දාල ගිය එකේ බබලත් කට්ටිය හිතුව ආයම එන ගමනත් එහෙම කරල ආතල් එක තවත් වැඩි කරගත්තොත් මොකද කියල. එහෙම හිතල එන ගමනත් ඇලික්ගෙ ගේ ඉස්සරහ වාහන ඔක්කොම නැවැත්තුව. නවත්තල බබලත් කට්ටියම බැහැල ආයම පටං ගත්ත අර සටන් පාට කියවිල්ල. "පුංචි නිලමෙ දියව් දියව්.. පුංචි නිලමෙ දියව් දියව්.."

හැබැයි මේ පාර වැඩි වෙලා කෑගහන්ට වුනේ නෑ. මේ බබලත්තුන්ට හෝදිසියක් නැතිඋනාට ඇලික් ඉඳල තියනව ඒ ළඟම. 

ඇලික්ට මාරාවේස වුනේ නැද්ද? ආව ගේට්ටුව ගාවට.."ආ...පුංචි නිලමෙද උඹලට ඕන? ඉඳා මේ ඉන්නෙ පුංචි නිළමෙ" කියල සරම උස්සල පෙන්නුව.........හෙහ්..හෙහ්..ආය මොනවද බබලත්තු කට්ටිය දනි පනිගාල පොර කකා වාහන වලට නැග්ගයි කියන්නෙ. එහෙම කරල වහාම ක්‍රියාත්මක වන පරිදි එතනින් පලාගියේල.

එසඳ "තාපස තෙමේගේ අන්දරය ලිවීමට පෙර එවන් තවත් අන්දරයක්වේමැයි සබඳ එබැවින් ඒ අතුරු අන්දරය පළමුව ලියනු උදෙසා මාහට අවසර" යනුවෙන් ඔබගෙන් අවසර ගෙන ලියන්නට යෙදුනු ඇලික් සහ පුංචි නිලමේ පිළිබඳ අන්දරය මෙතෙකින් නිමියේය. එසේ හෙයින් ප්‍රස්තුත ප්‍රධාන කථා පුවත එනම් තාපස තෙමේගේ අන්දරය ලියන්නට මට අවසර...

අන්න දැක්කනේ? අපි ඇවිල්ල අන්න එහෙමයි. ආචාරසීලීත්වය දෙකංසෙං පෙරෙනව. නිහතමානී කම කිව්වැහැකි ගමං කරන විලාසයෙං. ඕනම කතාවක් කියන්ට ඉස්සර වෙලා ඔබ තමුන්නාන්සේලාගෙන් අවසර ගන්නව. ආඩම්බරයි නම් ෂෙයාර් කරන්න...

රයිට් දැං ඔය තාපස තුමාගෙ කතන්දරේ මෙහෙමයි.

බොහෝම ඉස්සර කාලෙක හිමාල වනයේ ගල් ගුහාවක තාපසයෙක් වාසය කලාලු. මොකද එතුමා ගල් ගුහාවෙ කලේ කියල ඇහුව? තාපසයො ආය වෙන අහවල් දෙයක් කරන්නද කැළේ ගල්ගුහා වලට වෙලා තපස් රකිනව ඇරෙන්ට. අනේ ඉතින් අපේ මේ කතා නායක තාපස තුමාත් කලේ තට්ට තනියම ගල් ගුහාවට තපස් රකින එක. එතුමා හොඳ කඩවසම් තරුණය. තරුණ කාලෙම ජීවිතේ ගැන කළකිරිලයි මේ ඇවිදිල්ල හිට තපස් රකින්නෙ. එහෙම දේවල් වෙනව මේ ලෝකෙ.

මේ ගල් ගුහාව පිහිටි මහ වනේ ඉවර වෙච්චි හැටියෙම තියනවලු ගම්මානයක්. ඔය කියන ගම්මානෙ උදවිය මේ අපේ කතානායක තාපස තුමාට බොහොම ගෞරවයෙන් සැලකුවාලු. පුද සත්කාර කලාලු. ගමේ කට්ටිය අර අපේ තියෙන්නෙ ගම්වල සිරිතක් සළාක දානෙ දෙනව කියල, අන්න ඒ විදිහට මාසෙ දවස් බෙදාගෙන තාපස තුමාට දානෙ ගිහිල්ල දුන්නලු.

අපේ ගම්වල ඔය සළාක දානෙ කෙරෙන්නෙ මෙහෙමයි. ඕකට සීට්ටු දානෙ කියලත් කියනව පමණක් පළාත්වල. ඒ කියන්නෙ මාසෙ දවස් තිහ ගමේ ගෙවල් වලට බෙදල දීල තියෙන්නෙ සම්මුතියෙන්. ඒ දවසට පන්සලේ ඉන්න හාමුදුරුවරුන්ට දානෙ ඒ ගෙදරින් දෙන්න ඕන. 

ඔය සලාක දානෙ දෙනව කියන එකත් සෙල්ලං කෙලියක් එහෙම නෙවෙයි. කලිං දවසෙ රෑ බෝ වෙන්ට ඇරල පන්සලට ගිහිල්ල පහුවදා හීල් දානෙ අරං යන්ට ඕන කරන බාස්කට් බාජන අරව මෙව්ව අරගෙන එන්ට ඕන. පන්සලේ ඇබිත්තයෙක් ඉන්නවනම් උන්දැ එව්ව ගෙනත් දෙනව. එහෙම නැත්නම් සළාක දානෙ බාර ගෙදරින් කවුරු හරි ගිහිල්ල එව්ව අරගෙන එන්ට ඕන. 

ඊට පස්සෙ පහුවෙනිද උදේම හීල් දානෙ උයල කරල ගිහිල්ල දෙන්ට ඕන පන්සලට. ආපහු එනකොට දවල් දානෙ ගෙනියන්ට ඕන කරන ආම්පන්නත් ඒ එක්කම අරගෙන එනව. ඊලඟට දවල් එකොලහ වෙනකොට දවල් දානෙ ලෑස්ති කරල බුද්ධ පූජාවයි දැහැත් වට්ටියයි එක්ක ගිහිල්ල පූජා කරන්ට ඕන. අපෙ එතුමීලගෙ ගමේ පන්සලට ඔය සළාක දානෙ මමත් හත් අට සැරයක්ම අරගෙන ගිහිල්ල තියනව. හෙහ්..හෙහ්...

ඉතිං තාපස තුමාගෙ කතාවට ආයම ආවොත් ඔන්න දවසක්දා හවසක මහ අනෝරා වැස්සක් කඩා හැලුනලු. ඔය වෙලාවෙ ගමේ ගැටිස්සියො හතර පස් දෙනෙක් ඔය ගල් ගුහාව අහල පහල කැළේට දරකඩන්ට ගිහිල්ලලු හිටියෙ. එක පාරටම ආත බූත නැතුව වරුසාව කඩා වැටුනම ඒ කෙල්ලියො හිස් ලූලූ අත දිව්වලු. එයිං එක ගැටිස්සියක් කලබලේම දුවල තියෙන්නෙ ගල්ගුහාව පැත්තට. වෙන කරන්ට දෙයක් නෑනෙ වරුසාවත් කඩා වැටෙනව කල්පාන්තෙට වහින වැස්ස වගේ. ඕන දෙයක් වෙච්චාවෙ කියල කෙල්ල රිංගුවලු තාපසයාණෝ ඉන්න ගල් ගුහාවට.

මේ අනෝරා වැස්සෙ ඇහැට කණට පේන ගැටිස්සියක් එක පාරට තමං වැඩ වාසය කරන ගල්ගුහාවට කඩාපාත් උනහම අපේ ගරු කටයුතු තාපස තුමත් එක පාරටම නිකං කරකවල අතෑරිය වගෙ උනාලු. ඒත් එතුමා ඒ බවක් පෙන්නන්නෙ නැතුව ඒ තරුණියට ඇඟපත පිහිදාගන්ට පරණ රෙද්දක් එහෙම දීල සත්කාර කලාලු. දැං ඔන්න තාපසය ගුහාව ඇතුලෙ බද්ධ පර්යංකයෙන් වැඩ ඉන්නව. තරුණිය ගල් ගුහාවෙ දොර අබියසට වෙලා බලා ඉන්නව කොයි වෙලේ වැස්ස පායයිද කියල. මොන පෑවිල්ලක්ද? වැස්ස එක සීරුවට වහිනව. ඇඟ පත පිහගත්තට තරුණියගෙ ඇඳුම් තවමත් තෙතයි. ඇඟටම ඇලිල. ඔන්න අපේ තාපස තුමාටත් කාමාසක්ත සිතුවිලි පහල වෙන්ට ගත්තය කියමුකො. ඒත් එතුමා ඒ පාපී සිතුවිලි යටපත් කරගත්ත.

දැං හොඳටම රෑත් වෙලා. තාමත් එක සීරුවට වහිනව. කොහොමත් අර තරුණියට දැන් මේ වෙලාවෙ ගම්මානෙට යාගන්ට විදිහක් නෑ. තාපසය ඒ පාර ඒ තරුණියට අතින් සංඥා කාල ඇතුලට ඇවිල්ල වාඩි වෙන්ට කියල. තරුණියත් ඇවිල්ල තාපස තුමා ලඟින්ම වාඩිවෙලා ගල්ලෙනේ බිත්තිය හේත්තුවෙලා ඇස් දෙක පියාගත්ත. 

දැං තමං ලඟින්ම ඉන්න තරුණියගෙ රූපය දැකල තාපස තුමාගෙ කාම සිතුවිලි ආයම අවදිවෙන්ට ගත්ත. හැබැයි වැඩේ කියන්නෙ තාපස තුමාගෙ සූටි කයිය කිසිම ප්‍රතිචාරයක් නෑ. හිටිය වගේම සලුව අස්සට වෙලා ඉන්නව වගේ වගක් නැතුව. ඒ අතරේ මේ ගල්ගුහාම ඇතුලෙ අඩ අඳුරයි එළියෙ ධාරානිපාත වැස්සයි හීතළ හුළඟයි එක්ක අර තරුණියගෙත් ආසාවන් අවදිවෙන්ට ගත්ත. ඈ ඇස් ඇරල යටැසින් තාපසතුමා දිහා බලල යම්තමට හිනාවුනා. ඒ වනාහී නිසැකවම තමන්ට කෙරුනු ආරාධනාවක් කියල දන්න තාපස තුමාගෙ හිත ආයමත් කුල්මත්වුනා. මේ වගෙ අවස්ථාවක් ආය කවදාකවත් ලැබෙන එකක් නෑ. එහෙම හිතල එතුමා සූටි කයිය අවදි කරවගන්ට ෆුල් ට්‍රයි එකක් දුන්න. දන්න සෙල්ලං දැම්ම. මොන? සූටි කයිය එහෙම්මමයි.

ඉතිං කොහොමහරි එළිවෙනකල්ම තාපස තුමා සූටි කයිය නැඟිට්ටවගන්ට ඒකා එක්කලා දැඟලුවට සූටි කයිය නෙවෙයි ඔලුව උස්සල බැලුවෙ. බාම් එකේ වේලෙන්ට එල්ලල තියන දුංකොළයක් වගෙ ඔහෙ හිටිය කරබාගෙන. 

(Note - දුම්කොළ වේලන්ට හදනව අඩි තිහක් හතලිහක් වගෙ දිග ගොඩනැඟිලි. එව්වයෙ ඇතුලෙ ළණු බැඳල දුම්කොළ එල්ලල තමයි වේලන්නෙ. ඔව්වට කියන්නෙ Tobacco Barns කියල. අපේ මිනිස්සු කියන්නෙ දුංකොළ බාම් කියල, ඔය පල්ලෙහ පින්තූරෙ තියෙන්නෙ අන්න ඒ බාන් එකක්. මෙහෙ නම් නෙවෙයි ඇමරිකාවෙ...)

ඔය පෝටොස් එකේ තියෙන්නෙ ඇමරිකාවෙ දුම්කොළ බාන් එකක්.
අර පේනව නේද දුම්කොළ එල්ලල තියෙනව වේලෙන්ට?
අර තාපසතුමාගෙ සූටි කයියත් රෑ තිස්සෙ හිටියෙ
ඔහොම තමයි. Google Images

ඔයිංමෙයිං ඔන්න වටිං ගොඩිං එළියත් වැටීගෙන ආව. රෑ පුරා වැහැපු වැස්සත් තුරල් කරල. අර තරුණිය තාපසය දිහාවෙ දෙතුන් පාරක් නෝන්ඩියට වගෙ බලල ගල් ගුහාවෙං පිටවෙලා යන්ට ගියා. තාපසයට නේද? සූටි කයියව මරාගෙන කන්ට තරං කේන්තිය. ඇයි දෙයියෝ සාක්කි. දෙන දෙයියෝ ගෙට ගෙනත් දුන්නු අවස්ථාවනෙ මේ මඟ ඇරුනෙ...

"හපොයි මට එන කේන්තියක්. මූව හම ගැහුවට හිත් වදීද?" ඔහොම තොල මතුර මතුර තාපස් තෙමේ ඔන්න ගියා ඔය ගල් ගුහාව කිට්ටුවෙන්ම ගලාගෙන යන දොළපාර අයිනට උදෑසන සිරුරු කිස උදෙසා. දන්නවනෙ සිරුරු කිස කියන්නෙ මොකක්ද කියල නේද? ශරීර කෘත්‍යය නොහොත් මළපහ කිරීම. 

ඉතිං ඔන්න දොළ පාර අයිනෙ වැල්ලෙ උක්කුටිකයෙන් ඉඳගෙන තාපසය වැඩේ කරනව. බෝම හිත කනස්සලෙං ඉන්නෙ. ඊයෙ රාත්තිරියෙ වෙච්චි වැඩේට.

වේලිච්ච දර කෝටුවකුත්කඩාගෙන ඒකෙං වැල්ලෙ ඉරි ඇඳ ඇඳ ඔහොම වැඩේ කරගෙන යද්දි අප්පද බොල..මෙන්න එක පාරටම සූටි කයියා තෙමේ මොහොල් ගසක්සේ ප්‍රාණවත්ව නැඟීසිටි සේක. තාපසයගෙ කටත් එක්ක ඇරුන පුදුමෙං. ඇයි දෙයියෝ සාක්කි ඊයෙ රෑ අච්චර දඟලල වගක් වත් නැතුව හිටපු එකා මෙන්න බලමුකො. 

ඒත් එක්කම තාපසයගෙ හිතට ආවෙ දරාගන්ට බැරි මහ විසාල කේන්තියක් අර කියන්නෙ මාරාවේස වුනා කියල. අන්න ඒ ජාතියෙ කේන්තියක්. 

ඒ කේන්තියෙම්ම අතදාල සූටි කයියගෙ ඔලුවෙන් අල්ලගත්ත තාපසය "ආ..උඹට ඊයෙ රෑ මම වැඳපු නැති එක විතරයි. ඒත් උඹ වගෙ වගක් නැතුව හිටිය. දැං වැඩ පෙන්නල මක් කරන්ටද? දැං තෝ කාපිය මෙව්ව...කාපිය මෙව්ව" කියල සූටි කයියව අර තමංගෙම මලපහ ගොඩේ අතුල්ලගෙන අතුල්ලගෙන ගියා.

Thought for the day - When one of your own appendages conspire to thwart fulfilling your desire, there is nothing else but to rub it in your own shit…..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...